පසුගිය වසරේදී Musical.ly app එක Tik Tok ලෙස වෙනස් වූ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

එමෙන්ම ගතවූ වසර තුළ Tik Tok app එක ලොව පුරා ඉතාමත් සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වූ අතර විශේෂයෙන්ම ඉන්දියාව තුළ මෙය ඉතාමත් ජනප්‍රියත්වයට පත් වන්නට වුණා. ලොව පුරා බිලියන අඩකට ආසන්න පරිශීලකයන් පිරිසක් මේ Tik Tok app එකට එකතු වෙද්දී එයින් මිලියන 120ක් පමණ පිරිසක් ඉන්දියානුවන් වූ බව වාර්ථා වෙනවා.

කොහොම නමුත් මේ App එක හරහා අසභ්‍යය දර්ශන පැතිරයාම නිසාවෙන් හා දරුවන්ගේ සුභසාධනයට මෙය අහිතකර බව ප්‍රකාශ කරමින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් වී තිබීම නිසාවෙන්, අධිකරණය විසින් මෙම app එක තහනම් කිරීමට කටයුතු කර තිබුණි.

මේ තීන්දුවත් සමඟින් Google සමාගම ඔවුන්ගේ Google Play Store එක තුලින් මෙන්ම, Apple සමාගම ඔවුන්ගේ App Store එක තුලින් මේ Tik Tok app එක ලබා ගැනීමේ හැකියාව ඉන්දියාවට අවහිර කිරීමට කටයුතු කර තිබෙන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

Tik Tok app එක හරහා සමාජයට වන බළපෑම අවම කිරීම වෙනුවෙන් ඉන්දියානු රජය විසින් මෙය තහනම් කිරීමට කටයුතු කර තිබෙන අතර මේ සම්බන්ධව අදහසක් දැක්වීමට හෝ වෙනස්කමක් සිදු කිරීමට Tik Tok ආයතනයට ඉඩක් ලබාදීමට පවා අවස්ථාවක් ලබා දී නොමැති බව වාර්ථා වෙනවා.

ඉන්දියාව තුළ ව්‍යාජ පුවත් පැතිර යාම නිසාවෙන් WhatsApp ආයතනය කඩිමුඩියේ තම platform එකට වෙනස්කම් සිදු කරන්නට කටයුතු කරන්නේ ද මේ ආකාරයේ සම්පූර්ණ අවහිර කිරීමට යටත්වීමට සිදුවීමෙන් වලක්වාගැනීමට බව පැහැදිලි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, The New York Times වෙබ් අඩවිය හා Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.