WhatsApp කියන්නේ මේ වන විට එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගන්න භාවිතා කරන මාධ්‍යය වලින් ප්‍රමුඛතම මාධ්‍යයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

මේ හරහා අපිට ප්‍රයෝජනවත් තොරතුරු වගේම fake news, කටකතා, ජාතිවාදී මතවාද වගේ දේවල් වුණත් පැතිරෙන එක වලක්වන්න මේ වෙනතුරු කිසිම සාර්ථක ක්‍රමයක් ඉදිරිපත් කිරීමට WhatsApp ආයතනයට හැකි වී නැතත්, මේවා යම් තරමක් දුරට පැතිරීම වැලැක්වීම සඳහා පියවරක් ගැනීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ අනුව ඊයේ දිනයේ සිට WhatsApp හරහා යම්කිසි message එකක් එක් පුද්ගලයෙකු හට forward කළ හැකි වාර ගණන 5කට සීමා කිරීමට WhatsApp සමාගම තීරණය කර තිබෙනවා.

මේ හරහා තමන්ගේ සමීපතම කිහිපදෙනෙකුට හැරෙන්නට විශාල පුද්ගලයන් සංඛ්‍යාවකට මෙලෙස පණිවිඩ පැතිරවීමට නොහැකි වී යන බව ඔවුන්ගේ අදහසයි.

මූලිකව පුද්ගලයන් 256 දෙනෙකුට forward කිරීමේ අවස්ථාව ලබා දීමට මොවුන් කටයුතු කර තිබුණත්, පසුගිය වසරේ ඉන්දියාව මූලික කරගෙන පැන නැගුණු ගැටළු කිහිපයක් නිසාවෙන් මෙම සීමාව 20 දක්වා තර කිරීමට මෙන්ම, forward කරනු ලැබූ messages වලට ඉහළින් "Forwarded" යනුවෙන් label එකක් එකතු කිරීමට ද WhatsApp සමාගම කටයුතු කළා.

මෙවර ද මෙම සීමාව 5 දක්වා අඩු කිරීමට හේතුව ඉන්දියාව පුරා පැතිර ගිය fake news එකක් වන අතර මෙම සීමාව මූලිකව දකින්නට ලැබුණේ ද ඉන්දියාව තුල WhatsApp භාවිතා කරන්නන් හටයි.

කොහොම නමුත් මෙම සීමාව ඊයේ දිනයේ සිට WhatsApp වල අලුත්ම සංස්කරණය භාවිතා කරන ලොව පුරා WhatsApp පරිශීලකයන් හට බළපැවැත්වෙන බව දැනගන්නට ලැබෙනවා.

මෙම සීමාව පැවතියද, එක් WhatsApp group එකකට එකතු කළ හැකි උපරිම පුද්ගලයන් ගණන 256ක් වන නිසාවෙන්, එක් පුද්ගලයෙකු හට අදාල message එක Group Chat 5ක් හරහා තවත් පුද්ගලයන් 1280 දෙනෙකු හට යැවීමට තවමත් අවස්ථාව තිබෙන බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp Blog එක, Reuters වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.