පසුගිය මැයි මාසය වන විට ලොව වේගවත්ම සුපිරි පරිගණක 5 ගැන අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම නමුත් මේ වන විට එම ලැයිස්තුවේ තත්ත්වය උඩු යටිකුරු කරමින්, චීනය අභිබවා යමින් Summit සහ Sierra යන නම් වලින් හඳුන්වනු ලබන ලොව වේගවත්ම සුපිරි පරිගණක යුගලය හිමි කරගන්නට ඇමෙරිකාව සමත් වී තිබෙනවා.

මෙම සුපිරි පරිගණක ද්විත්වයම බළගැන්වෙන්නේ IBM තාක්ෂණයෙන් වන අතර Summit සුපිරි පරිගණකය LINPACK benchmark පරීක්ෂණය හමුවේ තත්ත්පරයකට 122.3 petaflops තරම් වූ වේගයක් වාර්ථා කරමින් පසුගිය ජූලි මාසයේදී ලොව වේගවත්ම සුපිරි පරිගණකය ලෙස කිරුළු පැළදුවා.

ජූලි මාසයේදී තත්ත්වය එසේ වූ අතර නව වැඩිදියුණු කිරීම් හමුවේ මේ වන විට 122.3 සිට තත්ත්පරයකට 143.5 petaflops දක්වා වේගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම මීළඟට වේගවත්ම සුපිර් පරිගණකය වන්නේ Sierra සුපිරි පරිගණකය වන අතර එය processor cores මිලියන 1.6කින් සමන්විත වෙනවා. එමෙන්ම IBM Power9 processors සහ Nvidia Tesla V100 accelerator chips වලින් බළගැන්වෙනවා.

කොහොම වුණත්, මෙහි අලුත්වැඩියා කටයුතු වලින් පසුව 71.6 petaflops වල සිට 94.6 petaflops දක්වා වැඩිදියුණු කර ඇති අතර, අපි පසුගිය වර ඔබ වෙත ඉදිරිපත් කළ ලැයිස්තුවේ පළමුවැනි තැන ගත් චීනයේ Sunway TaihuLight සුපිරි පරිගණකය ද අභිබවා යන්නට මෙම සුපිරි පරිගණකයට සමත් වී තිබෙනවා.‍

2017 වර්ෂයේදී මේ පිළිබඳව research කිරීම සඳහා IBM, Cray, AMD, Intel සහ Nvidia වැනි සමාගම් වලට ඇමෙරිකානු රජය විසින් ඩොලර් මිලියන 258ක පමණ මුලදක් වෙන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇති වී ඇති බව දැනගන්නට ලැබෙන අතර මෙම සුපිරි පරිගණක කාළගුණ තත්ත්වයන්ගේ වෙනස්වීම් ගණනය කිරීමට, පිලිකා සෛල වල වර්ධනය ගණනය කිරීමට, න්‍යෂ්ටික විලයනය ආදී දේවල් සඳහා වූ research කිරීම් වැනි කාර්යයන් සඳහා භාවිතා කළහැකි වෙනවා.

මේ අනුව ලොව හොඳම සුපිරි පරිගණක 10 අතුරින් පළමුවැනි හා දෙවන ස්ථානය ඇතුළුව පරිගණක 5ක් ඇමරිකාවට ද, දෙකක් චීනයට ද, ස්විස්ටර්ලන්තය, ජපානය, සහ ජර්මනියට එක බැගින් ද හිමි වන අතර ප්‍රධාන වශයෙන්ම මේවා සඳහා භාවිතා කර තිබෙන්නේ Intel processors සහ Nvidia accelerator chips බව වාර්ථා වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, CNET වෙබ් අඩවිය හා BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.