Online shopping, එහෙමත් නැතිනම් eBay, Amazon වගේ website වලින් භාණ්ඩ මිලදීගන්න එක මේ වන විට ලංකාවේ තරුණ පිරිස අතර ඉතාමත් ජනප්‍රිය වෙලා තියනවා.

කොහොම වුණත් ලෝකේ අනිත් රට වල මිනිස්සු කෙලින්ම Alexa ට කියලා භාණ්ඩ ඇනවුම් කරන තත්ත්වේ හිටියත්, අපි තවමත් කරන්නේ website දෙක තුනකට ගිහින් අදාල භාණ්ඩය search කරලා ඒ හැම එකකම price එක compare කරලා, අපිට වාසිම තැන තෝරගෙන එතනින් මිළදීගන්න එක.

ඉතින් මේ වැඩේ පහසු කරන්න Mozilla Firefox වෙතින් අළුත් පහසුකමක් හඳුන්වාදීමට කටයුතු කරලා තියනවා. මේ පහසුකම Price Wise යන නමින් හඳුන්වන අතර, මෙම පහසුකම හරහා මේ වන විට Amazon, Best Buy, eBay, Home Depot, සහ Walmart කියන වෙබ් අඩවි වලදී ඔබ මිලදීගැනීමට සූදානම් වන භාණ්ඩ ලැයිස්තුවකට add කර, එකිනෙක අතර මිළ ගණන් සසඳා බැලීමට පරිශීලකයාට අවස්ථාව ලබා දෙනවා.

මේ පහසුකම හරහා අපි කැමති භාණ්ඩ එක ලැයිස්තුවකට එකතු කළ පසු, අදාල වෙබ් අඩවි වල මිළ ගණන් වෙනස් වුවහොත්, එම අලුත් මිළ ගණන් ස්ව්‍යංක්‍රීයවම ලබාගෙන ඒ බව අපට දැනුම් දීමට කටයුතු කරනු ලබනවා.

ඉහත සඳහන් වෙබ් අඩවි සඳහා මූලිකව මේ පහසුකම දියත් කිරීමට හේතුව ලෙස Mozilla ආයතනය පෙන්වා දෙන්නේ, Firefox browser එක මගින් භාණ්ඩ මිලදීගැනීම සඳහා භාවිතා කරනු ලබන ප්‍රධානතම වෙබ් අඩවි 10 අතර තිබෙන බවයි. එමෙන්ම නුදුරු අනාගතයේදී මේ වෙනුවෙන් තවත් වෙබ් අඩවි එකතු කිරීමට බළාපොරොත්තු වන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කොහොම නමුත් මේ පහසුකම තවමත් අත්හදාබැලීමේ සංස්කරණයක් ලෙස ඔවුන්ගේ Test Pilot වැඩසටහන යටතේ නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර, මෙය භාවිතා කරන විට ඔබ තෝරාගන්නා භාණ්ඩ, ඒවායේ මිළ ගණන් වෙනස් වන කාල ප්‍රාන්තරය, ප්‍රමාණය වැනි දත්ත Mozilla ආයතනය විසින් එකතු කරගනු ලබනවා.

ඉතින් මේ පහසුකම භාවිතා කර බලන්නට කැමති නම් Firefox Web Browser එක හරහා Price Wise - Test Pilot වෙබ් පිටුව භාවිතා කරමින් මෙය install කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Mozilla Blog එක හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.