අපි තාක්ෂණයේ දියුණුව ගැන සිතන විට බොහොම පටු පාරක් දිගේ තමයි කල්පනා කරන්නේ.

රියදුරන් නැති වාහන, රොබෝ සේවකයන්, පියාඹන වාහන වගේ දේවල් ගැන බොහෝ දෙනා උනන්දුවක් දැක්වුවත්, කිසිවකු විසින් වැඩි තැකීමක් නොකරන අංශයකින් දියුණු වෙන රොබෝ තාක්ෂණයක් ගැන තමයි මේ ප්‍රවෘත්තිය.

2015 දී ආරම්භ කරන ලද "Iron Ox" නම් වූ ව්‍යාපෘතිය අද වනවිට "ස්වයං වගා කළමණාකරණ" රොබෝ කෙනෙක් නිෂ්පාදනය කල හැකි ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මේ රොබෝ විසින් වර්ග අඩි 8,000ක භූමි ප්‍රමාණයක් තුළ විවිධ පැල, එලවළු, පලතුරු ගස් 26,000 ක් පමණ වගා කිරීමට සමත් වී තිබෙන අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ පැළ වලට වතුර දැමීම, පොහොර දැමීම වගේ දේවල් සම්පූර්ණයෙන්ම කරන්නේ මේ කියන රොබෝ විසින් වීමයි.

තවත් මාස දෙකක් වැනි කාලයක් ඇතුලත මෙසේ වගා කරන ලද එලවළු හා පලතුරු ආහාරයට ගැනීමට සූදානම් වෙනවා කියලයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. නමුත් තවම මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම රොබෝ කෙනෙකු විසින් පමණක් කරනු ලබන ක්‍රියාවලියක් නො‍වන අතර මේ පැල රෝපණය වීම සඳහා අවශ්‍යය බීජ සිටවන්න තවමත් යොදාගන්නේ මිනිසුන්වයි.

මේ ක්‍රමයේ තියෙන ලොකුම වාසි වෙන්නේ මේ සදහා පාවිච්චි වෙන ඉඩ අඩු වීම, පාවිච්චි කරන ජලය හා පොහොර ප්‍රමාණය අඩු වීම වගේ වියදම් ගොඩක් අඩු වෙන විදිහේ ක්‍රියාවලියක් වෙන එක. ඒ වගේම මේ රොබෝලගෙන් සාමාන්‍ය වගාවකට වඩා 30 ගුණයක පමණ වැඩි ප්‍රථිඵලයක් ලබාගැනීමට හැකියාව ඇති බව ඔවුන් සනාථ කර තිබෙනවා.

මේ පද්ධතිය සැලැසුම් කර තිබෙන ආකාරයට මෙහි විශාල සෘජුකෝණාස්‍රාකාර තැටි වලට පැල සිටුවා ඇති අතර එක් එක් තැටි නිර්මාණය කරලා තියෙන්නේ පැලයක එක් එක් කාලවලදී අවශ්‍ය පෝෂණය ලබා දීමට හැකියාව ලැබෙන ලෙසයි.

ඉතින් ඒ ඒ වර්ධන කාල වලදී මේ තැටි එකින් එකට අදාල පැල මාරු කිරීම සිදු කරන අතර ඒ ඒ කාල වලදී ලැබෙන්න ඕන පොහොර හා වතුර නියමිත ප්‍රමාණයට ලබා දීමට මේ රෝබෝවට හැකියාව තිබෙනවා.

ඉතින් මේ රොබෝගේ තිබෙන එකම ප්‍රශ්නය තමයි මෙයාව හදන්න යන වියදම. තවම දරන්න පුලුවන් මුදලකට මෙයාව හදන්න ඔවුන් සමත් වෙලා නැහැ. එසේ අඩු මුදලකට මෙය නිශ්පාදනය කිරීමට උත්සාහ දරන ගමන් නුදුරු අනාගතයේදී මේ රොබෝව වෙළඳපොලට හදුන්වාදීමට ඔවුන් සූදානම් වන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය, techcrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.