මාස ගණනාවක් තිස්සේ තොරතුරු පිටවීම් ගණනාවක් හරහා Google Pixel 3 එක ගැන හොයලා බලන්න කටයුතු කරන ලද පිරිස වෙනුවෙන් ඔන්න ඊයේ New York නගරයේදී Google සමාගම විසින් ඔවුන්ගේ Made by Google event එක පැවැත්වූවා.

එහිදී Google Pixel 3 ජංගම දුරකථනය, Pixel Slate හා Google Home Hub එක ඇතුළු devices කිහිපයක් නිළ වශයෙන් එළි දක්වන්නට ඔවුන් කටයුතු කළ අතර සාමාන්‍යයෙන් වෙනත් Google event එකකට සාපේක්ෂව ඉතාමත් ඉක්මණින් තම එළිදැක්වීම් සියල්ලම පාහේ සිදු කිරීමට කටයුතු කළ ඔවුහු event එක අතරතුරදීම මේ අලුත් devices pre-order කිරීමට අවස්ථාව ලබා දීමටත් කටයුතු කලා.

Made by Google event එකෙහි සාරාංශගත වීඩියෝව
Google Pixel 3

Google Pixel 3 සහ Pixel 3 XL ජංගම දුරකථන මීට කලින් leak වලින් දකින්නට ලැබුණු ආකාරයෙන්ම පිළිවෙලින් අඟල් 5.5ක සහ අඟල් 6.3ක විශාලත්වයකින් යුතු වන අතර පෙර පරිදිම තවමත් මේ අලුත් Pixel ජංගම දුරකථන සඳහා තනි rear camera එකක් පමණක් ඇතුලත් කරන්නට Google සමාගම කටයුතු කර තිබෙනවා. කොහොම නමුත් wide angle selfie ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපස camera module එකට camera 2ක් ඇතුලත් කරන්නටද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව ඔවුන්ගේ camera එක සතු වූ high-resolution zoom පහසුකම, අඩු ආලෝක තත්ත්වයක් යටතේ ඡායාරූප ලබා ගැනීමේ පහසුකම, Photobooth mode එක සහ “Pixel Visual Core” නම් වූ විශේෂිත chip එක හරහා බලගැන්වෙන අලුත් පහසුකම් කිහිපයක් ඇතුලත් වෙනවා.

එමෙන්ම මෙවර Pixel දුරකථනය ඔවුන්ගේ නවතම wireless charging stand එක වන Pixel Stand එක හා සම්බන්ධ කර Google Assistant හි Pixel exclusive පහසුකම් භාවිතා කළ හැකි වෙනවා. කොහොම නමුත් මේ Pixel Stand එකක මිළ ඇමෙරිකානු ඩොලර් 79ක් වන බව ඔවුන් ප්‍රකාශ කලා.

Pixel 3 සහ 3 XL දුරකථන වල 64GB මාදිලිය පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් $799 සහ $899 වශයෙන් මිළ නියම කර තිබුණු අතර “not pink” යන නමින් හඳුන්වනු ලැබූ අලුත් වර්ණයක්ද මෙවර හඳුන්වා දීමට කටයුතු කළා. මීට අමතරව මේ දුරකථන මිළදීගන්නන් හට YouTube Music හි මාස 6 ක subscription එකක් ලබා දීමට ද ඔවුන් කටයුතු කරනවා.

Google Duplex

ඔයාලාට මතක ඇති පසුගිය Google I/O event එකේදී ලොව පුරාම කතා බහට ලක් වුණු Google Duplex තාක්ෂණය ගැන. ඔන්න Google සමාගම විසින් ප්‍රථම වතාවට මේ පහසුකම Google Pixel ජංගම දුරකථන වලට ඇතුලත් කරන්නට කටයුතු කර තිබෙනවා.

මේ හරහා ලැබෙන ඇමතුම් වලට පිළිතුරු සපයන්නට Google Assistant භාවිතා කළ හැකි අතර එම ඇමතුම හරහා ගලා යන සංවාදය screen එක හරහා බලා ගන්නට පරිශීලකයාට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම අදාල ඇමතුම spam call එකක් නම්, ඒ කියන්නේ marketing call එකක් නම්, එය එක tap කිරීමක් මගින් block කර දැමීම වැනි පහසුකම් ද Google Assistant විසින් ලබා දෙනවා.

Pixel Slate

අඟල් 12.3ක display එකකින් සමන්විත Chrome OS එකෙන් බලගැන්වෙන dual speakers සහ 8 mega-pixel camera එකක් ඇතුලත් වන Pixel Slate එක බැලු බැල්මටම විශාල tablet පරිඝනකයක් මෙන් වුවත්, Bluetooth Pixel Slate Keyboard එකක් සම්බන්ධ කිරීමෙන් පසුව එය laptop පරිඝනකයක් ලෙස ද භාවිතා කළ හැකි වෙනවා.

මේ Pixel Slate එක fingerprint reader එකක් සහ Titan Security chip එකකින් ද සමන්විත වන අතර මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 599ක් ලෙස සඳහන් වෙනවා. එමෙන්ම මෙය මිලදීගන්නා සියල්ලන්ටම YouTube TV subscription එක මාස 3 කට නොමිලයේ ලබා දීමටත් ඔවුන් කටයුතු කරනවා.

කොහොම වුණත් කලින් සඳහන් කළ Bluetooth Pixel Slate Keyboard එක අතිරේක ඇමෙරිකානු ඩොලර් 199ක් ගෙවා මිලදීගත යුතු වන අතර අවශ්‍යය නම් මේ සමඟ භාවිතා කිරීමට ඩොලර් 99ක් වැනි මුලදකට මිලදීගතහැකි stylus එකක් ද ඔවුන් එළි දැක්වීමට කටයුතු කළා.

මේ Pixel Slate එක වෙළඳපොලට නිකුත් කරනු ලබන නිශ්චිත දිනයක් ගැන සඳහනක් Google සමාගම විසින් සිදු නොකළ අතර මෙය තවමත් FCC එකේ අනුමැතිය ලබාගන්නා අවධියේ පසු වන බව දැනට දැනගන්නට ලැබෙන තොරතුරු අනුව වාර්ථා වෙනවා.

Google Home Hub

Google Home smart speaker එක බොහොම ජනප්‍රිය වුවත් එහි තිබුණු විශාලතම අඩුපාඩුව වුණේ ඒ හරහා දෘශ්‍යය පණිවිඩ හුවමාරු කිරීමට තිබූ නොහැකියාව සහ විධාන ලබා දීමට කටහඬ පමණක් භාවිතා කිරීමට සිදු වීමයි.

මේ ගැටළුවට විසඳුම මේ අලුත් Google Home Hub එක හරහා ලබා දීමට Google සමාගම කටයුතු කර ඇති අතර මෙය Google Photos සමඟ සම්බන්ධ වූ picture frame එකක් ආකාරයට නිමවා තිබෙනවා.

එමෙන්ම සියළුම smart home devices මේ හරහා කළමනාකරණය කිරීමේ හැකියාව තිබෙන අතර පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ කටහඬින් හඳුනාගැනීමටද මේ Home Hub එකට හැකියාව තිබෙනවා.

මෙය භාවිතා නොකරන අවස්ථා වලදී වේලාව, කාළගුණය පිළිබඳ විස්තර, appointments මෙන්ම traffic විස්තර වැනි දේ standby screen එකෙහි දර්ශනය කිරීමට කටයුතු කරනවා. මේ Google Home Hub එක ඇමෙරිකානු ඩොලර් 149ක් වශයෙන් මිළ සඳහන් වන අතර මේ වෙනුවෙන් YouTube Premium subscription එක මාස 6ක කාලයකට නොමිලයේ ලබා දීමට Google සමාගම කටයුතු කරනු ලබනවා.

වෙනත් Accessories

Google සමාගම විසින් මේ event එක මගින් නිවේදනය නොකල, නමුත් එදින සිට මිලදීගතහැකි Chromecast එකෙහි අලුත් මාදිලිය, USB-C earbuds තවත් devices කිහිපයක් එලිදක්වා තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය හා නිළ Google Blog එකෙහි Pixel පිළිබඳ සටහන, Home Hub පිළිබඳ සටහන, Pixel Slate පිළිබඳ සටහන  භාවිතා කළ හැක.