Incognito mode එක කියන්නේ අපි හැමෝටම වගේ නිතරම භාවිතා කරන්නට වුවමනා වෙන ඉතාම වැදගත් පහසුකමක් බව අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ.

කොහොම වුණත් අපි හැමදාම වගේ භාවිතා කරන මේ Incognito mode එක පිළිබඳ නිවැරදිව දැනගෙන සිටීම, මේ හරහා සිදු කරගන්නා කටයුතු වල ආරක්ෂාවට බෙහෙවින්ම බළපානවා වගේම ඔබේ ආරක්ෂාවට ද මෙය විටක වැදගත් වෙන්න පුළුවන්.

මේ Incognito window එකක් open කළ පසු පෙන්වන පළමුවැනි screen එකේ සඳහන් වෙන දේවල් කියවන්න කවදා හරි ඔබ උත්සාහ කර තිබෙනවා ද?

මෙහි සඳහන් වෙන ආකාරයට, මේ mode එක හරහා ඔබට ඉතාමත් පෞද්ගලික ලෙස අන්තර්ජාලය භාවිතා කළ හැකි අතර, මෙම device එක භාවිතා කරන වෙනත් පුද්ගලයන් හට ඔබ මේ හරහා කරන කිසි දෙයක් දැකගත නොහැකි බව ඔවුන් ප්‍රකාශ කරනවා.

ඒ වගේම Browser history එක, Cookies සහ වෙබ් අඩවි වලින් save කරන වෙනත් දත්ත වගේම forms වලට ඇතුලත් කරනු ලබන තොරතුරුත් save නොවන බව වැඩිදුරටත් සඳහන් කරනවා.

නමුත් ඊළඟට තිබෙන කොටස, ඔයා මේ හරහා කරන සියළුම දේවල් අදාල වෙබ් අඩවි වලට, ඔයා වැඩ කරන තැන හෝ පාසලේ සිටින තාක්ෂණික නිළධාරීන්ට වගේම, ඔයාගේ service provider, ඒ කියන්නේ Dialog/Mobitel/Hutch වැනි සේවා ලබා දෙන්නන් හටත් දැකගැනීමේ අවස්ථාව තිබෙන බව සඳහන් වෙනවා.

මොකක් ද මේ Incognito mode එකෙන් කරන්නේ?

මෙහි මූලික අදහස වෙන්නේ, ඔයා මේ Incognito mode එක භාවිතා කරන අවස්ථා වලදී Browser history එක, Cookies, Browser Cache සහ Form වලට ඇතුලත් කරන දත්ත එම window එක, එහෙමත් නැතිනම් session එක close කරන අවස්ථාවේදී තවදුරටත් save කර තබා නොගෙන delete කර දමන බවයි.

මොනවද මේ  Incognito mode එකෙන් තිබෙන වාසි?

මේ mode එක web browser වලට හඳුන්වාදෙන්නට කලින් අන්තර්ජාලය භාවිතා කරන්න පටන්ගත්ත කෙනෙක් නම්, ඔයාට මතක ඇති අදාල කාර්යය සිදු කරගැනීමෙන් පසුව, මම කලින් සඳහන් කරපු දේවල් ටික manually මකන්න ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා.

ඉතින් මේ process එක automatically සිදු වීම හරහා ඔයා internet cafe එකකදී හෝ වෙනත් public පරිගණකයකදී සිදු කරන දේවල්, ඊළඟට මේ device එක භාවිතා කරන කෙනාට දැකගන්න ලැබෙන්නේ නැති වෙනවා.

මීට අමතරව ඔයා Medium වගේ වෙබ් අඩවි භාවිතා කරනවා නම් යම්කිසි articles ප්‍රමාණයක් කියවූ පසුව ඊට පසු articles කියවීම සඳහා pay කරන ලෙස paywall හරහා විවිධ බළපෑම් සිදු කරන අවස්ථාවන් දැකලා ඇති.

බොහෝ වෙලාවට මේ වගේ දේවල් කරන්නට භාවිතා කරන්නේ ඔයාගේ Browser එකේ තිබෙන Cookie storage එක. ඉතින් අපි Browser session එක close කළ පසු මේ Cookies clear වෙනවා නම්, මේ වෙබ් අඩවි වලට අපි බලපු ලිපි ප්‍රමාණය ඊළඟ අවස්ථාවේ බළාගන්නට ලැබෙන්නේ නැහැ.

ඒ වගේම ඔයා යම්කිසි දෙයක් සඳහා Google search එකක් කරලා, Facebook එකට යනකොට Facebook එකේ ads හරහා ඔයා Google එකේ search කරපු දේවල් ගැන advertisements පෙන්නන්න කටයුතු කරනවා දැක ඇති.

මේ වගේ දේවල් වලින් ගැලවී සිටින්නත් ඔබට මේ Incognito mode එක භාවිතා කරන්නට හැකියාව තිබෙනවා.

ඒ වගේම යම්කිසි වෙබ් අඩවියකට තමන් දැනටමත් login වී සිටින account එකට අමතරව, තවත් account එකකින් login වීමට අවශ්‍යය වුවහොත්, ඒ සඳහාත් මේ Incognito mode එක භාවිතා කළ හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති.

Incognito mode එක භාවිතා කිරීමේදී දැන සිටිය යුතු කරුණු

කොහොම වුණත් මේ Incognito mode එක භාවිතා කලත් නැතත්, ඔයා භාවිතා කරන වෙබ් අඩවි හෝ transfer කරන දත්ත ගමන් කරන්නේ ඔයාගේ ISP හරහා නිසාවෙන්, ඔයා යන වෙබ් අඩවි මොනවද කියන එක එයාලට බලන්න පුළුවන්.

ඒ වගේම ඔයා මේක භාවිතා කරන්නේ Office එකේ හරි School එකේ හරි University එක වගේ තැනකදි නම් හෝ public Wi-Fi hostpot එකකදී නම් මේ ස්ථාන වල network එක සම්බන්ධ නිළධාරීන්ටත් ඔයා භාවිතා කරන දේවල් නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා.

ඉතින් ඔයා කරන දේවල් මේ අයගෙන් හංගන්න වුවමනා නම්, අනිවාර්යයෙන්ම VPN එකක් හෝ Tor වැනි network එකක් භාවිතා කිරීමට සිදු වෙනවා.

VPN එකක් හෝ Tor Network එක වගේ දෙයක් භාවිතා කලත් අපි internet භාවිතා කරන්නේ කලින් ISP හරහාම නිසා, ඇයි එයාලට මේක බලන්න බැරි කියන ගැටළුව සමහර විට ඔබට ඇති වෙන්න පුළුවන්.

එක එහෙම වෙන්නේ නැත්තේ, VPN එකක් භ‍ාවිතා කරන විට අපි transfer කරන දත්ත encrypt කරන නිසයි. මේ encrypt කරපු දත්ත එයාලට බලන්න පුලුවන් වුණත්, ඒවා encrypt කර තිබෙන නිසා ඒ තුල අන්තර්ගත වෙන්නේ මොනවද කියන එක බලන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඒ වගේම Tor වගේ network එකක් භාවිතා කරනවා නම්, ඔයා ඉන්න Location එක පවා හොයාගන්නට අනත්ර්ජාලයට වෙනත් තැනකින් සම්බන්ධ වෙන කෙනෙකුට ඉතාමත් අපහසු වෙනවා.

ඔයා මේ Incognito mode එක භාවිතා කරමින්, ඒ වගේම VPN එකක් භාවිතා කරමින් අතිශයින්ම රහසිගත දෙයක් නරඹන්නට කටයුතු කරනවා නම් දැන් ඔබ දන්නවා මේ දත්ත කිසිම කෙනෙකුට ආයෙත් ගන්න බැරි බව... ඒත්...

Browser එකෙන් මේ දත්ත මකා දමන බවට පොරොන්තු වුණත්, ඔයාගේ device එකේ DNS Cache එකේ ඔයා ගිය වෙබ් අඩවි පිළිබඳ දත්ත තවමත් ඉතුරු වෙලා තිබෙනවා. ඊට අමතරව Browser එක close කරනකොට automatically delete වෙන දත්ත, recovery software එකක් ආධාරයෙන් ආයෙත් recover කරගැනීමේ හැකියාව/අවධානම තවමත් තිබෙනවා.

මේ DNS Cache එක clear කරන්නට වුවමනා නම්, Windows වලදී "ipconfig /flushdns" යන විධානය Command Prompt එක හරහා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව ඔයා Browser extensions භාවිතා කරනවා නම්, Incognito mode එක සඳහා ඒවාට access ලබා දී තිබෙනවා නම්, අදාල extensions වලට ඔබ Incognito mode එක තුලදී සිදු කරන දේවල් දැකගැනීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම වැදගත්ම දෙයක් තමයි, ඔබ භාවිතා කරන device එකේ keylogger එකක් වගේ මෘදුකාංගයක් තිබුණහොත්, Incognito mode එක භාවිතා කළත් නොකලත්, ඔබගේ Passwords, credit card details ඇතුළුව ඔබ type කරන සියලුම දේ හොරෙන්ම record කරගන්නට ඒවාට හැකියාව තිබෙනවා.


මේ ලිපිය හරහා අපි නිතරම භාවිතා කරන පහසුකමක් වන Incognito mode එක ගැන දැනගෙන භාවිතා කරන්නට ඔබට හැකියාව ලැබෙන්නට ඇති බව මම විශ්වාස කරන අතරම, මේ ගැන මීට වඩා දේවල් ඔයාලත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකටඇවිත් කියන්නත් අමතක කරන්න එපා.