සඳ, අඟහරු සහ පෘථිවියේ අනෙකුත් දුර බැහැර ගමනාන්ත වෙත මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා SpaceX සමාගම විසින් නිර්මාණය කරමින් සිටින Starship යානා පිලිබඳව මීට පෙරත් අපි ඔබට විවිධ තොරතුරු ගෙන ආ අතර, අද අප ඔබට කියන්නට යන්නේ එක් පැත්තකින් සාර්ථක වූ, නමුත් එක් අසාර්ථකවීමකටද මුහුණ දුන් SapceX සමාගමේ මෙම පළමු Starship යානා පර්යේෂණ දියත් කිරීම පිළිබඳවයි.

SN8 ලෙස නම් කරන ලද මෙම Starship යානය ඊයේ දිනයේදී (දෙසැම්බර් 9) South Texas ප්‍රදේශයේ Boca Chica හි පිහිටුවා ඇති SpaceX facility එකෙහිදී පළමු පර්යේෂණ දියත් කිරීම සිදු කල අතර එහි අරමුණ වූයේ 12km ක් පමණ පියාසර කොට, අභ්‍යවකාශය ක්‍රියාකාරකම් කිහිපයක්, එනම් යානය හැරවීම, ස්ථාවරව තබා ගැනීම ආදිය සිදුකර කොට නැවත නිරුපද්‍රිතව පොළවට ගොඩබෑමයි.

කොහොම වුණත් මෙම යානය දියත් කිරීම හා අභ්‍යවකාශ ක්‍රියාකාරකම් කීපයක් සාර්ථකව සිදු කළද, නැවත පොළවට ගොඩබෑම අසාර්ථක වූ අතර ඒ නිසා යානය සම්පූර්ණයෙන්ම ගිණි ගෙන විනාශ වීම සිදු වුණා.

1:48:00 සිට 1:55:00 දක්වා

අඩි 165 ක් (මීටර් 50) පමණ දිගකින් යුත් මෙම SN8 Starship යානය අපේක්ෂිත ස්ථානයට ගොඩබෑම සිදු කළ ද එහි ගොඩබෑම් වේග පාලනය, පාලන මධ්‍යස්ථානයෙන් ගිලිහුණ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිනිත්තු 6 තත්පර 42 ක පියාසර කාලයකින් පසු යානය විනාශ වීම සිදු වුණා.

නමුත් මෙම අවස්ථාව සමස්ථ මානව ඉතිහාසයේ විශිෂ්ටතම අවස්ථාවක් බව පෙන්වා දිය හැකි අතර මේ පිළිබඳව අදහස් පළ කරමින් SpaceX සමාගමේ නිර්මාතෘ Elon Musk මහතා ප්‍රකාශ කලේ "Landing Fuel Header" කොටසේ සිදු වූ පීඩනය අඩු වීමක් නිසා යානය නිසි වේගයෙන් ගොඩබෑම සිදු කිරීමට නොහැකි වූ බව වන අතර, එසේ වුවත් මීලඟ පරීක්ෂණයට අවශ්‍ය දත්ත ලබා ගැනීමට මෙම පර්යේෂණ දියත් කිරීම හරහා හැකියාව ලැබුණ බවයි.

එමෙන්ම මීළඟ පර්යේෂණ යානයන් වන Starship SN9 සහ SN10 සංස්කරණයන් ද දැනටමත් නිර්මාණය කර අවසන් බව Elon Musk මහතා සඳහන් කර තිබෙන අතර ඉතාම නුදුරු දිනයකදී ඒවායේ පරීක්ෂණ දියත් කිරීම සිදු කිරීමද සිය බලාපොරොත්තුව වන බව ඔහු සඳහන් කරනවා.

සාමාන්‍යයෙන් අභ්‍යවකාශ ගමන් සඳහා යොදා ගන්නා යානා සම්පූර්ණයෙන්ම නැවත භාවිතා කල නොහැකි නමුත් Elon Musk මහතාගේ දැක්ම වන්නේ අභ්‍යවකාශ ගමන් සඳහා "නැවත භාවිතා කලහැකි" යානා නිපදවීම වන අතර මෙම Starship ව්‍යාපෘතිය ඒ වෙනුවෙන් බිහි වූ එකක් වෙනවා.

මේ Starship එක පිළිබඳව, මේ හරහා සිදු කිරීමට නියමිත කටයුතු පිළිබඳව මෙන්ම ඒවා සිදු කිරීමට නියමිත ආකාරය පිළිබඳව පුළුල් විග්‍රහයක් Illumination Podcast එක හරහා විකාශය කිරීමට කටයුතු කළ අතර, ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ පහත link එක හරහා එයට සවන්දීමේ හැකියාව ද පවතිනවා.

එමෙන්ම Elon Musk මහතා විශ්වාස කරන්නේ 2024 වර්ෂය වන විටදී අඟහරු වෙත සිය පළමු සාර්ථක Starship මෙහෙයුම සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව වන අතර, සමස්ථ ලෝකයම ඒ දිනය පිළිබඳව අවධානයෙන් පසුවෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Space.comවෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.