සම්පූර්ණයෙන්ම සූර්ය ශක්තියෙන් ආරෝපණය කළ හැකි ත්‍රිරෝද මෝටර් රථයක් එළිදැක්වීමට ඇමරිකානු සමාගමක් වන Aptera සමාගම කටයුතු කර තිබෙන අතර එහි පළමු batch එක එය දිනක් තුළ සම්පූර්ණයෙන්ම අලෙවි වී අවසන් වූ බව වාර්තා වෙනවා.

$26,000 ක් එනම්, ආසන්න වශයෙන් රුපියල් ලක්ශ 48ක පමණ මුදලකට මිල නියම කර තිබූ මෙම මෝටර් ත්‍රිරෝද රථයේ flagship මාදිලිය වරක් ආරෝපණය කිරීමෙන් 1,600km ක දුරක් ගමන් කිරීමට හැකියාව තිබෙන බව මොවුන්  පෙන්වා දෙනවා.

මෙම flagship මාදිලිය 100kWh ධාරිතාවයකින් යුතු බැටරියකින් සන්නද්ධ කර තිබෙන අතර එය අනෙක් මාදිලි සඳහා 25kwh හා 65kwh ධාරිතාවෙන් යුතු බැටරි භාවිතා කර තිබෙනවා.

කලින් සඳහන් කළ පරිදි මෙම මෝටර් රථය plug-in charging කල හැකි වුවද මෙම මෝටර් රථයට යොදාගෙන තිබෙන සුර්ය බල තාක්ෂණය මගින් දිනකට සැතපුම් 40 ක පමණ දුරක් ධාවනය කිරීම සඳහා අවශ්‍ය බලය ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

සාමාන්‍යය ඇමෙරිකානු පුද්ගලයෙකු විසින් දිනකට මෝටර් රථයක් භාවිතා කරමින් ගමන් කරනු ලබන දුර ප්‍රමාණය කිලෝමීටර් 46ක් පමණ වන බව සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇති අතර, ඒ නිසා මෙම සමාගම පෙන්වා දෙන්නේ මෙය මිලදී ගන්නා බොහෝ පාරිභෝගිකයින් හට එය කිසිම දිනයක plug-in charge කිරීමට අවශ්‍ය නොවනු ඇති බවයි.

දෙදෙනකුට ගමන් කිරීමට හැකියාව ඇති මෙම ත්‍රිරෝද මෝටර් රථය ඉතාම ආකර්ෂණීය ලෙස design කර ඇති බව දක්නට ලැබෙන අතර ඒ සඳහා භාවිතා කර තිබෙන තාක්ෂණය හා අමුද්‍රව්‍ය පවා driving range එක හැකි පමණ වැඩි කරගැනීම ඉලක්ක කොට භාවිතා කර තිබෙනවා.

එමෙන්ම liquid-cooled electric motors යුගලයක් මඟින් මෙහි flagship මාදිලිය බලගැන්වෙන අතර එය තත්පර 3.5 ක් තුළ 60mph වේගයක් ලබාගැනීමට සමත් වෙන අතර අනෙක් මාදිලි තත්පර 5.5 ක් තුළ එම වේගය ලබාගැනීමට සමත් වෙනවා.

එමෙන්ම මෙහි අන්තර්ගත කර තිබෙන අඟල් 15 සුවිසල් තිරය මඟින් රියදුරන්ට රථය සම්බන්ධ ඕනෑම වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය settings ලබා දෙන අතර එමඟින් රථයේ කාර්යක්ෂමතාවය සහ driving range එක පිළිබඳව දත්ත ලබාදීම ද සිදු කෙරෙනවා.

වරක් ආරෝපණය කිරීමෙන් 1,600km ක පමණ විශාල දුරක් ධාවනය කර හැකි එකම මෝටර් රථය මෙය වීම සුවිශේෂී කරුණක් වන අතර දැනට වෙළෙඳපොළෙහි තිබෙන වෙනත් කිසිඳු විදුලි මෝටර් රථයක් එම range එක ආසන්නයට හෝ පැමිණීමට සමත් වී නැහැ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ Telematics News වෙබ් අඩවිය භාවිතා කළ හැක.