පසුගිය දවසක Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy Note 9 එක එළිදැක්වීමේ event එක බොහොම උත්සවශ්‍රීයෙන් පවත්වන්නට කටයුතු කළා ඔයාලා හැමෝම වගේ දකින්නට ඇති.

ඉතින් සෑම වසරකම වගේ මේ Galaxy S series එකේ හෝ Note series එකේ devices එළිදැක්වීමේ event එකකදී ඔවුන් තමන්ගේ නිෂ්පාදන හැකියාව මගින් නරඹන්නන්ව අමන්දානන්දයට පත් කරන්නට කුමක් හෝ විශේෂ දෙයක් සිදු කරනු ලබනවා.

මෙවර ඔවුන්ගේ සමුළුව New York වල පිහිටි Barclays Center එකේ පැවති අතර එහි මුළු stage එකම ආවරණය වන පරිදි වර්ග අඩි 9,000 කට අධික වර්ගඵලයකින් යුතු screens භාවිතා කරන්නට ඔවුන් කටයුතු කර තිබුණා.

මේ Barclays Center එක සාමාන්‍යයෙන් නරඹන්නන් 16,000 කට පමණ ඉඩ පහසුකම් සැළසිය හැකි ලෙස නිර්මාණය කර තිබෙන අතර, මෙම event එකේදී එහි සම්පූර්ණ ඉඩ ප්‍රමාණයෙන් භාගයක පමණ කොටසක් මේ දැවැන්ත stage එක වෙනුවෙන් වෙන් කරන්නට Samsung සමාගම කටයුතු කර තිබුණා.

Stage එකක් යනුවෙන් හැඳින්වුවත් එය සම්පූර්ණයෙන්ම වගේ දැවැන්ත screen එකක් කිවුවොත් නිවැරදියි. මෙහි බිම්තලය අඩි 107ක් පමණ පළල වූ අතර අඩි 46කින් පමණ උසකින් යුතු වුණා. එමෙන්ම ප්‍රධාන screen එක තවත් වර්ග අඩි 4,200කින් පමණ සමන්විත වූ අතර සියල්ල එකතු කළ විට වර්ග අඩි 9,000 ඉක්මවා යන තරමේ ප්‍රමාණයක screens මේ සඳහා භාවිතා කර ඇති බව පැහැදිළි වෙනවා.

මේ දැවැන්ත screen ද්විත්වය සකස් කිරීමට ඔවුන්ට පැය 48ක පමණ කාලයක් ගතවී ඇති බව වාර්ථා වෙන අතර මීට අමතරව Galaxy Home speakers 160ක් පමණ එක විට මෙහිදී භාවිතා කරන්නත් ඔවුන් කටයුතු කර තිබුණා.