තම රටේ අභ්‍යවකාශය තාක්ෂණයේ දියුණුව මනාව ප්‍රදර්ශනය කරමින් චීනය විසින් තනිවම වැඩිදියුණු කරන ලද සිය අඟහරු මෙහෙයුම වන TIANWEN -1, අඟහරු වෙත දියත් කිරීමට පසුගිය ජුලි 23 වැනි දින චීනය සමත් වුණා.

TAINWEN – 1 මෙහෙයුම අඟහරු කක්ෂයකට ඇතුළු කල හැකි යානයක්, Rover එකක් හා Lander එකකින් සමන්විත වෙනවා.

මෙහිදී කක්ෂයට ඇතුළු කරනු ලබන යානය කක්ෂයේ සිට අඟහරු අධ්‍යයනය කරනු ඇති අතර Rover එක සහ Lander එක අඟහරු මතුපිට ගොඩබසිනු ඇති. එමෙන්ම මෙහි අන්තර්ගත වන Lander එකේ කාර්යභාරය වන්නේ රෝද සහිත Rover එක පරිස්සමෙන් අඟහරු පෘෂ්ඨය මතට ගොඩබෑමයි.

මීට පෙර මෙවැනි මෙහෙයුමක් සාර්ථකව සිදු කරන ලද්දේ නාසා ආයතනය පමණක් වන අතර, මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් අඟහරු වෙත යානයක් සහ Rover එකක් ගොඩබෑමට සමත් වූ දෙවන රාජ්‍යය බවට චීනය පත්වනු ඇත.

චීනය සතු විශාලතම රොකට්ටුවක් වන Long March 5 Y-4 රොකට්ටුව විසින් මෙම යානා ත්‍රිත්වය අභ්‍යවකාශය වෙත රැගෙන යාම සිදු කළ අතර මෙම දියත් කිරීම චීනයේ දකුණු Hainan දූපතේ පිහිටි Wenchang Space Launch Centreහි දී සිදුකෙරුණු බවයි වාර්තා වන්නේ.

පුරා මාස හතක් පුරා සිදු කරන දීර්ඝ ගමනකින් පසු මෙම රෝවරය ලබන 2021 වසරේ පෙබරවාරි මාසයේදී අඟහරු වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එහිදී අඟහරු කක්ෂයට ඇතුළු වීමට මෙම යානය සමත් වුවහොත් එය විසින් අඟහරු මතට මෘදු ගොඩබෑමක් සිදු කිරීම සඳහා කටයුතු කරනු ඇති.

වෙනත් ග්‍රහ ලෝකයක කක්ෂයකට යානයක් ඇතුළු කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන බැවින් මෙම මෙහෙයුම පිළිබඳව කල් තියා අනාවැකි පළ කළ නොහැකි නමුත් චීනය අපේක්ෂා කරන්නේ තම රාජ්‍යයට මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

චීනය බලාපොරොත්තු වන පරිදි මෙම ගොඩබෑම සාර්ථක වුවහොත් මෙම රෝවරය විසින් අඟහරු ග්‍රහයාගේ වායුගෝලය, ජලය, පෘෂ්ඨය පිළිබඳව මෙන්ම එහි භූගෝලීය පිහිටීම පිළිබඳව ද අධ්‍යයනය කිරීමට කටයුතු කෙරෙනවා.

මේ අතර සිය පළමු අඟහරු මෙහෙයුම අසාර්ථක වීමෙන් පසු එක්සත් අරාබි එමිර් රාජ්‍යය විසින් ද පසුගිය ජූලි 19 වැනි දින නව අඟහරු මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර ඔවුන්ගේ අරමුණ වන්නේ අඟහරුගේ කාලගුණය අධ්‍යනය කිරීමයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Reuters වෙබ් අඩවිය, New York Times වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.