යුර‍ෝපා සංගමය විසින් Qualcomm සමාගමට යූරෝ මිලියන 242ක්, එනම් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 271ක දඩ මුදලක් නියම කිරීමට කටයුතු කර තිබෙන බව මේ වන විට වාර්ථා වෙනවා.

වසර හතරක් තිස්සේ යුරෝපා සංගමය විසින් සිදු කරන ලද පරීක්ෂණයක් අනුව මෙයට හේතුව 2009 සහ 2011 යන කාළසීමාව ඇතුලත predatory price එකකට 3G modem chips අලෙවි කිරීමට කටයුතු කිරීම ලෙස වාර්ථා වෙනවා.

මේ predatory price එකක් යනු යම්කිසි තරඟකාරී සමාගමක් ඉලක්ක කරගෙන, ඔවුන්ට වඩා ඉතාමත් අඩු මිලකට තමන්ගේ නිෂ්පාදන අලෙවි කර, අදාල සමාගම වෙළඳපොලින් ඉවත් වන තුරු මෙම තත්ත්වය පවත්වාගෙන යෑම වන අතර, මෙහිදී අගතියට පත් සමාගම වන්නේ Icera, එනම් තවත් chip නිෂ්පාදනය කරනු ලැබූ සමාගමකි.

මේ අනුව Huawei සහ ZTE යන සමාගම් වලට නිෂ්පාදන වියදමටත් වඩා අඩු මිලකට 3G modem chips ලබා දීමට Qualcomm සමාගම කටයුතු කර ඇති අතර, එම කාලය ඇතුලත Icera සමාගම තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකිව ක්‍රමයෙන් වෙළඳපොලින් ඉවත් වීමට කටයුතු කරනු ලැබුවා.

අවසානයේ අසාර්ථක වෙමින් පැවති Icera සමාගම 2011 වර්ෂයේදී Nvidia සමාගම විසින් මිලදීගැනීමට කටයුතු කරනු ලැබූ අතර, 2015 වන විට එය සම්පූර්ණයෙන්ම semiconductor වෙළඳපොලින් ඉවත් වූවා.

Qualcomm සමාගමේ සැළසුම්සහගත උපාය මාර්ග නිසාවෙන් අදාල ක්ෂේත්‍රයට අලුත් තාක්ෂණයන් හඳුන්වාදීමට තිබුණු අවස්ථාවක් අහිමි වී ගිය බවත්, එම වෙළඳපොල නිතරඟයෙන්ම Qualcomm සමාගමට හිමි වූ බවත්, ඒ හරහා වෙළඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමට ඔවුන්ට හැකියාව ලැබුණු බවත් යුරෝපා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එමෙන්ම පසුගිය දා Qualcomm සමාගම හා Apple සමාගම අතර ඇති කරගත් එකඟතාවය නිසාවෙන්, Intel සමාගම ද 5G modem නිෂ්පාදනය කිරීම නවතා දැමීමත් සමඟින් Qualcomm සමාගමේ වෙළඳ ඒකාධිකාරය තවදුරටත් තහවුරු වූ බව දැකගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.