මීට වසර කිහිපයකට පෙර ඉතාමත් ජනප්‍රිය වූ FaceApp app එක මේ වන විට නැවතත් රැල්ලක් ආරම්භ කරමින් ලොව පුරා පැතිර යන බව දැකගැනීමට ලැබීමත් සමඟින් බොහෝ දෙනා මේ පිළිබඳව විවිධ ආකාරයේ අසත්‍යය ප්‍රචාර පැතිරවීමට ද කටයුතු කරනු ලබන බව දැකගත හැකි වෙනවා.

රුසියානු සමාගමක් වන Wireless Lab ආයතනයේ app එකක් වන මේ FaceApp භාවිතා කරමින් තමන්ගේ ඡායාරූප වලට විවිධ ආකාරයේ filters එකතු කිරීම හරහා එම ඡායාරූප වලින් පෙනෙන වයස අඩු හෝ වැඩි ලෙස සකසා ගැනීමට මෙම app එක භාවිතා කළ හැකි අතර, 2017 වර්ෂයෙන් පසුව, පසුගිය සතිය ඇතුලත නැවතත් ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණා.

කොහොම නමුත් මෙම ජනප්‍රිය වීමත් සමඟින් මේ app එක හරහා පරිශීලකයන්ගේ ඡායාරූප රුසියාව විසින් ලබාගන්නා බවත්, ජංගම දුරකථනයේ ඇති සියළුම ඡායාරූප upload කරන බවත් වැනි විවිධ ප්‍රචාරයන් අඩු වැඩි වශයෙන් කටකතා වල සිට ප්‍රධාන මාධ්‍යය හරහා පවා පැතිර යන දැකගත හැකි වෙනවා.

කොහොම නමුත් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කිසිඳු පරීක්ෂණ කණ්ඩායමකට ඒ පිළිබඳව සාක්ෂි ඇතිව තහවුරු කිරීමක් සිදු කිරීමට මේ වන තුරු හැකියාවක් ලැබී නොමැති බව මතක තබාගත යුතු වෙනවා.

iOS වල security researcher කෙනෙකු වන Guardian Firewall හි CEO වරයා වන Will Strafach විසින් Twitter පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ Network analyzer එකක් භාවිතා කරමින් මෙම app එක පරීක්ෂා කළ බවත්, Gallery එකේ ඇති සියළුම photos මේ හරහා upload වීමක් සිදු නොවන බවත් ය.

කෙසේ නමුත් පරිශීලකයා විසින් තෝරාගනු ලබන ඡායාරූපය ජංගම දුරකථනයේදීම process කිරීමක් නොකර, එය FaceApp servers වලට upload කර එහිදී අදාල processing කටයුතු සිදු කර එය නැවත download කිරීමට මෙම app එක කටයුතු කරනු ලබන බවත්, එය ඉතාමත් සාමාන්‍යය තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට අමතරව FaceApp ආයතනය විසින් මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ එලෙස upload කරන ඡායාරූප වලට පරිශීලකයන් විසින් වෙනත් filters apply කිරීම නිතර නිතර සිදු කරන බැවින්, කෙටි කාලයක් තුළ එය නැවත නැවත upload කිරීම වෙනුවෙන් වැය වන bandwidth එක save කරගැනීම සඳහා එම servers වල අදාල ඡායාරූපය කෙටි කාලයක් (පැය 48ක්) සඳහා ගබඩා කරගනු ලබන බවත්, කිසියම් පුද්ගලයෙකු ඉල්ලීමක් කළහොත් ඒවා delete කිරීමට ඔවුන් කටයුතු කරනු ලබන බවත් ය.

මේ සඳහා වෙනම කණ්ඩායමක් එම ආයතනය තුළ සේවය කරනු ලබන බවත්, Settings -> Support හරහා ගොස් "Privacy" යන මාතෘකාව ඔස්සේ මෙම ඉල්ලීම සිදු කළ හැකි බවත්, මේ වන විට අදාල කණ්ඩායම ඉතාමත් කාර්යයබහුල වී සිටින නමුත් ඔබගේ ඉල්ලීම අනිවාර්යයෙන්ම ඉටු කිරීමට ඔවුන් බැඳී සිටින බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.


iOS ජංගම දුරකථන වලදී Camera roll එකට permission ලබා දීම ප්‍රතික්ෂේප කලද ඡායාරූප තෝරා ගැනීමට පරිශීලකයාට අවස්ථාව ලබා දීම බොහෝ දෙනාගේ විමතියට හේතු වූ අතර මෙහි සැබෑ හේතුව වන්නේ Apple සමාගම විසින් ඔවුන්ගේ permission system එක නිර්මාණය කර ඇති ආකාරයයි.

මෙහිදී camera roll එකට permission ලබා දීම ප්‍රතික්ෂේප කර, අදාල ඡායාරූප එකින් එකට permission ලබා දීමට iOS වලදී හැකියාව තිබෙන අතර ඒ හරහා මේ app එක තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මෙය ඕනෑම iOS app එකක සාමාන්‍යය ස්වභාවයක් වන අතර ඒ පිළිබඳව සැකයක් ඇති කරගත යුතු නැහැ.

මීට අමතරව පරිශීලකයන්ගේ ඡායාරූප රුසියාවට ගෙන යන බව පැවසුවද මෙම සේවාව සඳහා භාවිතා කරන්නේ AWS සහ Google Cloud Platform සේවාවන් වල servers බැවින් R&D team එක රුසියාවේ සිටියද මෙම ඡායාරූප ගබඩා කිරීම රුසියාවෙන් පිටත, එනම් Amazon සහ Google සමාගම් වල data centers වල ගබඩා කර ඇති බව එහි හිමිකරු වන Yaroslav Goncharov විසින් TechCrunch වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම බොහෝමයක් (99%ක් පමණ) FaceApp භාවිතා කරන්නන් එම සේවාවට login වීමක් සිදු නොකරන බැවින් අදාල ඡායාරූප ඔවුන්ගේ අනන්‍යතාවය සමඟින් සම්බන්ධ වන තොරතුරු බොහෝ වෙලාවට FaceApp සේවාවට නොලැබෙන බවත්, කෙසේ හෝ ඔවුන් සතු වන දත්ත කිසිඳු ආකාරයකට වෙනත් පාර්ශවයකට විකිණීමට හෝ ලබා දීමට කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.