Android Pie නිළ වශයෙන් නිකුත් වී මාසයකට පමණ පසු, ඔන්න දැන් OnePlus සමාගම විසින් ඔවුන්ගේ customized Android සංස්කරණය වන OxygenOS එකේ 9.0 වැනි සංස්කරණය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

බොහෝ වෙලාවට ජංගම දුරකථන නිෂ්පාදකයින් අළුත් Android version එකක් පැමිණි විට එය ඔවුන්ගේ devices වලට ගැලපෙන ආකාරයට සකස් කිරීමට බොහෝ කාලයක් ලබාගන්නා අතර මෙවර, OnePlus සමාගම අනෙකුත් බොහෝමයක් සමාගම් වලට ප්‍රථමව තමන්ගේ devices වලට මේ Android වල 9 වැනි සංස්කරණය නිර්මාණය කිරීමට සමත්වී තිබෙනවා.

මේ වෙනසට Android වලට මීට ටික කාලයකට කලින් හඳුන්ව‍ා දුන් Project Treble නම් වූ ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් වී ඇති බව පැහැදිලි වන අතර OnePlus සමාගම විසින් තවමත් මේ අලුත් update එක ලබා දෙන්නේ OnePlus 6 ජංගම දුරකථනයට පමණයි.

කොහොම නමුත් මේ Android Pie වල ඇති අළුත් පහසුකම් සියල්ලක්ම පාහේ තමන්ගේ පසුගිය devices බොහෝමයකට ලබා දීමට OnePlus සමාගම සැලසුම් කර ඇති අතර මේ අනුව 2017 වර්ෂයේ නිකුත් කළ OnePlus 5 සහ 5T එකටත්, 2016 වර්ෂයේ නිකුත් කළ OnePlus 3 සහ 3T එකටත් මෙලෙස Android Pie update එක නුදුරු අනාගතයේදීම ලැබෙනු ඇති බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳව වැඩි විස්තර OnePlus සමාගමේ නිළ changelog එක හරහා දැනගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා.