Google සමාගම Android නිසාවෙන් පසුගිය දිනක ඩොලර් බිලියන 5 ක පමණ දඩයක් යුරෝපා හවුල විසින් නියම කළා මතක ඇති. ඔන්න දැන් මේ Android නිසාම Google සමාගමට තවත් ඩොලර් බිලියන 8.8ක් අහිමි වෙන ලකුණු පහල වෙලා තියනවා.

Google සමාගම සහ Oracle සමාගම කියන්නේ එකිනෙකා අතර හොඳ හිත දිනාගෙන සිටින ආයතන දෙකක් නොවන බව දැන් දිගු කාලයක සිටම අපිට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ Java සම්බන්ධයෙන් ඔවුනොවුන් අතර ඇති වුණු ගැටුම මෙයට ප්‍රධාන හේතුවක් වුණා.

ඉතින් මේ Java මුලින්ම නිර්මාණය කරන්නේ 1990 ගණන් වලදී Sun Microsystems කියන සමාගම විසින් වන අතර 2010 වර්ෂයේදී Oracle සමාගම විසින් මේ Sun Microsystems ආයතනය මිළදීගනු ලබනවා. මේ අත්පත් කරගැනීමත් සමඟින් Sun සතු වූ Java language එක සහ එයට අදාල API සියල්ලම Oracle සමාගම සතු වෙනවා.

මෙම මීළදීගැනීමෙන් මාස කිහිපයකට පසුව Java වල copyrighted API කිහිපයක් හා patent කිහිපයක් Google සමාගම විසින් ඔවුන්ගේ Android මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීමට යොදාගෙන ඇති බව පවසමින් Oracle සමාගම විසින් Google සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා.

එතැන් පටන් මේ සමාගම් දෙක මේ වන තුරුත් ඇමෙරිකානු උසාවියේ වරින් වර මේ නඩු වලට පෙනී සිටිමින් දරුණු නීතිමය යුද්ධයක පැටලී සිටිනවා.

මේ අනුව 2012 වර්ෂයේදී ජූරි සභාව විසින් Google සමාගම නිර්දෝෂ බවට තීන්දුවක් ලබා දෙන අතර, මේ තීන්දුව ඔස්සේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට Oracle සමාගම කටයුතු කරනවා. ඉන් පසුව 2016 වර්ෂයේදී ජූරිය විසින් නැවතත් Google සමාගමේ මෙම භාවිතාවන් fair use වශයෙන් සළකා දඩ නියම කිරීම ප්‍රතික්ෂේප කරනවා.

නමුත් මෙම තීන්දුව ද US Federal Circuit එක හමුවට රැගෙන යන් Oracle සමාගම මේ වන විට Federal Circuit එක හරහා ලබා දුන් තීන්දුවෙහි සටහන් වන්නේ Google සමාගම විසින් Oracle සමාගමට අයත් දේවල් භාවිතා කිරීමේදී නීති උල්ලංඝනය කර ඇති බවත් ඒ වෙනුවෙන් Oracle සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ගෙවිය යුතු බවත් ය.

මේ වෙනුවෙන් ඩොලර් බිලියන 8.8ක් Oracle සමාගම විසින් දැනට ඉල්ලා සිටින අතර ඉදිරියේදී මෙම ගණන වෙනස් වීමටද හැකියාව තිබෙනවා.

අධිකරණය විසින් පෙන්වා දෙන පරිදි Android කියන්නේ free & open source software එකක් වුණත්, copyright නීති හමුවේ එය අදාල නොවන බවත්, Java API භාවිතා කර පරිගණක හා වෙනත් devices වලට මෘදුකාංග නිපදවීමට අවස්ථාව ලබා දී තිබෙන නමුත්, එය භාවිතා කර තවත් platform එකක් නිර්මාණය කිරීමට හෝ වෙනත් electronic device එකකට අන්තර්ගත කිරීමට Oracle සමාගම නීතිමය වශයෙන් අවසර ලබා දී නොමැති බවත් ය.

කොහොම නමුත් Google සමාගම මෙම තීන්දුව හමුවේ ඉතාමත් අපේක්ෂා භංගත්වයට පත් වී සිටින අතර, ඔවුන් විසින් මේ තීන්දුව උදෙසා නැවතත් අපෑලක් ඉල්ලා සිටීමට කටයුතු කළ අතර එයද ප්‍රතික්ෂේප කිරීමට Federal Circuit එක කටයුතු කර තිබනෙවා.

අවසානයේ මෙම තීන්දුව සමඟින් Supreme Court එක හමුවට යෑමට Google සමාගම අදහස් කරගෙන සිටින නමුත් විචාරකයන් පවසන්නේ Supreme Court එකෙහි තීන්දුව ද මෙයට වඩා වෙනසක් නොවනු ඇති බවයි.