Android කියන්නේ open source software එකක් වුණත් මෑත කාලීනව ක්‍රමයෙන් Google සමාගම ඔවුන්ගේ Google Play Services ඇතුළු මෘදුකාංග බන්ඩලයක් චීනයෙහි විකුණන Android ජංගම දුරකථන හැරුණු කොට සෑම Android ජංගම දුරකථන නිෂ්පාදකයෙකු හරහා ම පාහේ මෙහෙයුම් පද්ධතියට ඇතුලත් කරවීමට කටයුතු කර තිබෙනවා.

මෙම මෘදුකාංග බන්ඩලයට Google Play Services, Gmail, Google Search, Google Calendar ඇතුලු තවත් බොහෝමයක් අපි එදිනෙදා බාවිතා කරන Google සමාගම විසින් නිෂ්පාදිත apps ඇතුලත් වෙනවා. මේ අතර ගොඩ දෙනෙක් නොදන්න කරුණක් තමයි මේ විදිහේ apps ඉවත් කිරීමට සාමාන්‍යය බාවිතා කරන්නෙකුට නොහැකි වන අතර මේවා background එකෙන් run වීම නිසා ගොඩක් වෙලාවට අනවශ්‍යය ලෙස battery power එක මෙන්ම processing power එකත් නාස්ති වෙනවා. කෙටියෙන් කියනවා නම්, phone එක‍ slow වීමට යම් තරමක් දුරට මේ apps දායක වෙනවා.

Google සමාගම විසින් ඔවුන්ගේ Android වෙළඳපොළ නීති විරෝධී ලෙස බාවිතා කිරීම යන හේතුව මුල් කර ගනිමින් නැගුණු චෝදනා යටතේ යුරෝ බිලියන 4.3ක් එනම් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක දඩ මුදලක් නියම කිරීමට යුරෝපා කොමිසම විසින් මේ වන විට තීන්දු කර තිබෙනවා.

මෙයට ප්‍රධානම හේතුව ලෙස දක්වන්නේ විශාල ජංගම දුරකථන නිෂ්පාදකයන්ගේ සහ සේවා සපයන්නන්ගේ devices වලට Android වල මූලික source code එක බාවිතා කිරීම අවහිර කොට Google සමාගමට අයත් Chrome සහ Google Search engine එක මුදල් ගෙවා ඇතුලත් (pre-installed) කිරීමයි.

Google සමාගමට මේ වෙනුවෙන් නීතිමය ආවරණයක් ලබාගැනීම උදෙසා මෙම තීන්දුවෙන් පසු දින 90 ක කාලයක් ලබා දී ඇති අතර මේ අනුව දුරකථන නිෂ්පාදකයින්ට Google Play store ඇතුලත් කර දුරකථන නිෂ්පාදනය කිරීමේදී Google Search සහ Google Chrome ඇතුලත් කිරීමට කරනු ලබන බලපෑම නැවැත්වීමට Google සමාගමට සිදු වෙනවා. එමෙන්ම ප්‍රධාන Android source code එකට අමතරව වෙනත් forks තබාගැනීම උදෙසා අවසර දීමටත් ඔවුන්ට සිදු වෙනවා.

Google සමාගම විසින් තම වෙළඳපල අනිසි ලෙස භාවිතා කරන බවට විවිධ පාර්ශව හරහා ලැබුණු චෝදනාවන් කිහිපයක් මත යුරෝපීය කොමිෂන් සභාව විසින් Android පිළිබඳව වූ මෙම විමර්ශනය පසුගිය වසර කිහිපය පුරාවටම සිදු කරගෙන ගොස් තිබෙනවා.

FairSearch කියන ආයතනය විසින් මුලින්ම 2013 වර්ශයේදී Google සමාගමට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර මෙම කණ්ඩායමට Nokia, Microsoft මෙන්ම Oracle සමාගමත් ඇතුලත් විය.

කොහොම වුණත් Google සමාගම විසින් මෙම තීන්දුව වෙනුවෙන් නැවත අභියාචනා කිරීමට සූදානම් වන අතර මීට පෙර ද search results ඔවුන්ට අවැසි ආකාරයට වෙනස් කිරීමෙන් මේ ආකාරයේ වාර්ථාගත අන්දමින් ඩොලර් බිලිනය 2.7ක දඩයකට යටත් වීමට Google සමාගමට සිදු වුණා.

මේ ආකාරයට Facebook, Intel, Microsoft වැනි ආයතන කිහිපයක්ම යුරෝපා කොමිසමේ මෙවැනි වාර්ථාගත දඩ වලට යටත් වී තිබෙනවා.

Ranking Company Year Amount
1 Google 2018 €4.34 billion
2 Google 2017 €2.42 billion
3 Intel 2009 €1.06 billion
4 Microsoft 2008 €899 million
5 Microsoft 2013 €561 million
6 Facebook 2017 €110 million

කොහොම වුණත් ඉහත සඳහන් කළ සියළුම apps අළුතින් නිෂ්පාදනය කරනු ලබන Phone වලින් ඉවත් කර ගැනීමට Google සමාගමට දින 90 ක කාලසීමාවක් ලැබී ඇති අතර දුරකථන නිෂ්පාදකයින්ගේ කැමැත්ත මත මේවා නැවත ඇතුලත් කරගැනීමට අවස්ථාව තිබෙනවා. සෑම නිෂ්පාදකයෙකුම මෙම apps අනිවාර්යයෙන්ම ඇතුලත් කළ යුතුයි යන තත්ත්වය මෙමගින් මගහැරී යනවා.