COVID-19 වෛරසයේ බලපෑම සහ තවත් තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා නාසා ආයතනය විසින් වැඩි දියුණු කරන ලද James Webb අභ්‍යාවකාශ දුරේක්ෂය අභ්‍යවකාශ ගත කිරීම නැවත වතාවක් කල් දැමීමට විද්‍යාඥයන්ට සිදු වී තිබෙන බව වාර්ථා වෙනවා.

සේවක ගැටලු හා මෙම දුරේක්ෂයේ Hardware වල ගැටලු ආදිය නිසා මීට පෙර අවස්ථා වලදී ද මෙම අභ්‍යවකාශ ගත කිරීමේ දිනය කල් දැමීමට සිදු වූ අතර මූලිකව එය 2021 වර්ෂයේ මාර්තු දක්වා කල් ගිය අතර දැන් එය 2021 වර්ෂයේ ඔක්තෝබර් දක්වා කල් ගොස් තිබෙනවා.

කොහොම නමුත් නාසා ආයතනය පවසන්නේ මෙම කල් ගත වීම නිසා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කොංග්‍රසය විසින් වෙන් කරන ලද ඩොලර් බිලියන 8.8ක budget එක අභිබවා යෑම සිදු නොවනු ඇති බවයි.

සම්පූර්ණ කරන ලද James Webb දුරේක්ෂය සඳහා sound and vibration test එක තවදුරටත් සිදු කිරීමට විද්‍යාඥයින් බලාපොරොත්තු වන අතර හිරුගේ අධෝරක්ත කිරණ වලින් දුරේක්ෂය ආරක්ෂා කිරීම සඳහා සවි කර ඇති ටෙනිස් පිටියක් තරම් දැවැන්ත Sun Shield එක ද නැවත විවෘත කොට, Re-design කිරීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

1990 වර්ෂයේදී අභ්‍යවකාශ ගත කරන ලද හබල් දුරේක්ෂය විසින්, අභ්‍යවකාශ දුරේක්ෂයක අවශ්‍යතාවය මේ වන විට සපුරාලමින් සිටින අතර වසර 2030 දක්වා හබල් දුරේක්ෂය භාවිතා කිරීම විද්‍යාඥයින්ගේ අරමුණ වෙනවා.

මේ නිසා මෙම නව දුරේක්ෂය හබල් දුරේක්ෂය සමග සමගාමීව මෙහෙයුම් වල නිරත වනු ඇති අතර 2030 වර්ෂයෙන් පසු බොහෝ දුරට තනිවම මෙහෙයුම් සිදු කිරීමට මෙම නව James Webb දුරේක්ෂයට හැකියාව ලැබෙනු ඇති.

2021 වර්ෂයේ ගිම්හාන කාලයේදී European Ariane රොකට්ටුවක් ආධාරයෙන් French Guiana හිදී මෙහි දියත් කිරීම් කටයුතු සිදු කිරීමට නියමිත වන අතර එය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.6 දුරින් පිහිටි ස්ථානක කක්ෂගත කිරීමට නියමිතයි.

මේ අනුව අනාගතයේ දී, එනම් බොහෝ දුරට 2030 න් පසු මෙම නව විශ්වීය ඇස හබල් දුරේක්ෂයේ ස්ථානය අත්පත් කර ගනු ඇති අතර හබල් දුරේක්ෂයට නොදෙවෙනි කාර්යභාරයක් ද සිදු කිරීමට දායක වනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ NASA වෙබ් අඩවිය, Space වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.