එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය අඟහරුවාදා නිකුත් කළ වාර්තාවකට අනුව 2021 වර්ෂය වන විට සමස්ත ලෝක ජනගහනයෙන් 37% ක්,  එනම් බිලියන 2.9 ක ජනතාවකට තවමත් අන්තර්ජාලය සඳහා පහසුකම නොමැති බව අනාවරණය වී තිබෙනවා.

2021 වසර වන විට බිලියන 4.9 ක ජනතාවක්  අන්තර්ජාලය භාවිතා කරන බව මෙම නවතම අධ්‍යයනය විසින් හඳුනාගෙන තිබෙන අතර එය 2019 දී පැවතුනේ බිලියන 4.1 ක අගයකයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය වන "ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය" (ITU) විසින් මෙම නවතම අනාවරණය සිදු කරනු ලැබුවා.

මෙලෙස අන්තර්ජාලය පහසුකම අහිමි වී ඇති බිලියන 2.9 ක  ජනගහනයෙන් 96% ක් ම තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව  බව ITU ආයතනය පෙන්වා දෙන අතර, අන්තර්ජාල පහසුකම් ඇති බිලියන 4.9 ක් වූ ජනගහනයෙන් බහුතරයකට පවා ඒ සඳහා ඇත්තේ සීමිත ප්‍රවේශයක් බව වැඩිදුරටත් සඳහන් කරනවා.

ඒ වගේම ජනගහනයෙන් වයස අවුරුදු 15_24 අතර පසුවන්නන්ගෙන් 71% ක් අන්තර්ජාලය භාවිතා කරන බවත් අනෙක් සියලුම වසස් මට්ටම් වල අයගෙන් 57% ක් පමණක් අන්තර්ජාලය භාවිතා කරනවා.

එමෙන්ම ලෝක කාන්තා ජනගහනයෙන් 57% ක් පමණක් අන්තර්ජාල පහසුකම් ලබාගනිද්දී ලෝක පිරිමි ජනගහනයෙන් 62% ක් පමණ අන්තර්ජාලය භාවිතා කරන බව මෙම  වාර්තාවෙන් හෙළි කර තිබෙනවා.

විශේෂයෙන්ම අප්‍රිකානු කලාපය තුළ ජීවත්වන ජනතාවගෙන් 30% කට පමණ කුමන ආකාරයක හෝ අන්තර්ජාලය ප්‍රවේශයක් නොමැති බව මෙම ITU වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ITU හි ප්‍රධාන ලේකම් Houlin Zhao මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සමස්ත ජනගහනයෙන් ⅔ ක ට පමණ මේ වෙන විට අන්තර්ජාල ආවරණය තිබුණත්, මෙම අගය  ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා තවත් බොහෝ දේ සිදු කිරීමට තිබෙන බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා AA වෙබ් අඩවිය සහ The Guardian වෙබ් අඩවිය භාවිතා කළ හැක.