යුධ බිමේදී පණිවිඩ හුවමාරු කරගන්න අවශ්‍යය වුණොතින්, ඒ සඳහා Walkie-talkie එකක් භාවිතා කරන බව අපි හැමෝම මේ වෙනකොට දන්නවා.

මේ ලෝකයට යුද්ධය නිසා ලැබිලා තියන ඉතාමත් අමිහිරි අත්දැකීම් වලින් අඩුවක් නැති වුණත්, ලොව පුරා තාක්ෂණයේ දියුණුවට මේ යුද්ධ එක සේ දායක වෙලා තියන බව ඉතිහාසය දිහා බලන ඕනම කෙනෙකුට පේනවා.

අපි අන්තර්ජාලය ලෙසින් භාවිතා කරනු ලබන මෙම සේවාවේ ආරම්භයත් මේ ආරක්ෂක කටයුතු හා සමඟ බැ‍ඳෙන අතර පසුගිය අඟහරුවාදා දින මෙවැනි තවත් අළුත් තාක්ෂණිය උපාංගයක පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අැමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඩොලර් මිලියන ගණනක ආයෝජනයක් සිදු කිරීමට කටයුතු කළා.

මේ උපාංගය "Molar Mic" යනුවෙන් හඳුන්වන අතර මේ උපකරණය මුලින්ම නිශ්පාදනය කරලා තියෙන්නේ කැලිෆෝනියාවේ Sonitus Technologies කියන ආයතනයයි. මෙම කුඩා උපාංගය සවි වන්නේ අදාල පුද්ගලයාගේ කරන්නාගේ හක්කේ දතකටයි.

එහි wireless rechargeable බැටරියක්, waterproof මයික්‍රොෆෝනයක් හා අස්ථියට සම්බන්ධ වන speaker එකක් අන්තර්ගත වන අතර පැරෂූටයකින් පොලොවට ලඟා වන විට, හෙලිකොප්ටරයක සිටින විට හෝ ජලයේ පිහිනන විට වැනි අවස්ථා වලදී සාම්ප්‍රදායික සන්නිවේදන උපාංග භාවිතා කිරීම අපහසු නිසා මෙවැනි උපකරණයක් නිපදවීමට ඔවුන් උනන්දු වෙලා තියෙනවා.

මෙම උපකරණය මුලින්ම යොදවන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ භාවිතය සදහා වුවත් ඉදිරියේදී විවිධ අංශ වල පුද්ගලයින්ට මෙය භාවිතා කර හැකි බවයි එම සමාගම වැඩිදුරටත් අදහස් දැක්වුවේ.