Windows 10 සමඟින් අන්තර්ගත කර තිබෙන Microsoft සමාගමේ Windows Defender මෘදුකාංගය මේ වන විට ලොව තිබෙන හොඳම Antivirus මෘදුකාංග තරම්ම හොඳින් ක්‍රියාත්මක වන බව ජර්මානු සමාගමක් වන AV-TEST ආයතනය විසින් මේ වන විට තහවුරු කර තිබෙනවා.

Microsoft සමාගම Security software, එහෙමත් නැතිනම් Antivirus මෘදුකාංග නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා තිබෙන ආයතනයක් නොවුණත්, මෑත කාලීනව ඔවුන්ගේ Windows Defender මෘදුකාංගය ඉතාමත් හොඳ තත්ත්වයකට ගෙන ඒමට සමත් වී තිබෙන බව දැකගත හැකි වෙනවා.

ලොව තිබෙන ප්‍රධාන Antivirus මෘදුකාංග ගණනාවක් භාවිතා කරමින් AV-TEST ආයතනය විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයක ප්‍රතිඵල අනුව Kaspersky, Symantec වැනි cyber-security ලොව කිරුළු දරා සිටින ආයතන වල නිෂ්පාදන ඇති ගුණාත්මක බව මේ Windows Defender මෘදුකාංගයේ ද තිබෙන බව තහවුරු වී තිබෙනවා.

මේ අනුව Protection, Performance සහ Usability යන category ත්‍රිත්වය යටතේම උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 6 බැගින් 18ක් ලබාගෙන එහි ඇති හොඳම Antivirus මෘදුකාංග අතරට පැමිනීමට Windows Defender මෘදුකාංගයට හැකිව තිබෙනවා.

Windows Defender හා සම තැනක් ලබා ගැනීමට F-Secure SAFE, Kaspersky Internet Security, සහ Symantec Norton Security යන මෘදුකාංග ත්‍රිත්වය සමත් වී ඇති අතර, ලකුණු 17.5ක් ලබා ගනිමින් Avast Free Antivirus, AVG Internet Security, Bitdefender Internet Security, Trend Micro Internet Security, සහ VIPRE AdvancedSecurity යන මෘදුකාංග දෙවැනි තැන සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා නිළ AV-TEST වෙබ් අඩවිය භාවිතා කළ හැක.