පසුගිය ජුනි මාසය අතරතුර Google සමාගම විසින් ඔවුන්ගේ මීළඟ ජංගම දුරකථනය වන Pixel 4 ජංගම දුරකථනයේ පෙනුම පිළිබඳව අනාවරණයක් සිදු කිරීමට කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන් නැවතත් වරක් Pixel 4 ජංගම දුරකථනයේ face unlock පද්ධතිය හා gesture system එක පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව මීළඟ Pixel ජංගම දුරකථනයේ unlocking mechanism එක Face unlock තාක්ෂණය මත පදනම් වන අතර, iPhone X වල සිට භාවිතා වන ආකාරයේ advanced sensors ගණනාවක් භාවිතා කරමින් ඉතාමත් ආරක්ෂිත ආකාරයේ Face unlocking ක්‍රමයක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මේ Face unlock කිරීම සඳහා භාවිතා වන ඡායාරූප හෝ කිසිඳු රූපමය තොරතුරක් ජංගම දුරකථනයෙන් පිටතට ගෙන නොයන බවත්, සියළු processing කටයුතු ජංගම දුරකථනය තුළ ම සිදු කරනු ලබන බවත්, කිසිඳු අවස්ථාවකදී Google හෝ වෙනත් සේවාවකට මේ දත්ත භාවිතා කළ නොහැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට අමතරව මෙහි අන්තර්ගත වන විශේෂිතම තාක්ෂණය වන්නේ Google සමාගමේ Advanced Technology and Projects (ATAP) team එක විසින් සිදු කරගෙන ගිය Project Soli නමින් හැඳින්වූ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය කළ Soli chips භාවිතා කරමින්, හස්ත සංඥා භාවිතා කිරීමේ හැකියාව ලැබීමයි.

මේ Soli Radar තාක්ෂණය පිළිබඳව විස්තරාත්මක ලිපියක් පසුගිය ජනවාරි මාසයේදී අපි ඔබට ඉදිරිපත් කළා මතක ඇති.

2013 වර්ෂයේදී Samsung Galaxy S4 ජංගම දුරකථනයේ proximity sensor එක භාවිතා කරමින් Air Gesture නමින් පහසුකමක් ඉදිරිපත් කිරීමට Samsung සමාගම කටයුතු කළ නමුත්, මේ Pixel 4 ජංගම දුරකථනයේ අන්තර්ගත වන තාක්ෂණය ඊට හාත්පසින්ම වෙනස් බව මතක තබාගත යුතු වෙනවා.

Google Motion Sense තාක්ෂණය බළගැන්වෙන්නේ Soli motion-sensing radar හරහා වන අතර හස්ත සංඥා හඳුනාගැනීම සඳහා රේඩාර් සංඥා භාවිතා කරනු ලබනවා.

මේ Soli chips අන්තර්ගත වන, වෙළඳපොලට නිකුත් වන ප්‍රථම උපාංගය වන්නේ Pixel 4 ජංගම දුරකථනය වන අතර ගීතයක් skip කිරීම, alarm එකක් නැවැත්වීම හෝ call එකක් ලැබෙන විට එය silence කිරීම වැනි කටයුතු මූලිකව මේ හරහා සිදු කිරීමේ හැකියාව ලබා දෙන බවත්, ඉදිරියේදී මෙය භාවිතා කරමින් තවත් පහසුකම් භාවිතා කිරීමේ හැකියාව ලබාදීමටත් Google සමාගම බළාපොරොත්තුවෙන් සිටින බව වාර්ථා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.