පසුගිය දිනක Windows 7 සඳහා සහාය ලබා දීම අවසන් කරනු ලබන දිනය ගැන Microsoft සමාගම නිවේදනය කළ බව ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, Microsoft සමාගම විසින් ඔවුන්ගේ Windows 10 Mobile කියන platform එක සඳහා සහාය දක්වන අවසාන දිනය ගැනත් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව මෙම වසරේ, එනම් 2019 වර්ෂයේ දෙසැම්බර් මස 10 වැනිදා සිට Windows 10 Mobile සඳහා feature updates, security updates හෝ තාක්ෂණික සහාය ලබා නොදීමට මොවුන් කටයුතු කරනු ලබන අතර, දැනට Windows 10 Mobile භාවිතා කරන පිරිස හට iOS හෝ Android ජංගම දුරකථන වෙතට මාරු වන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ වන විට Microsoft සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සියළුම Apps Android සහ iOS සඳහා නිකුත් කර තිබෙන බවත්, Android භාවිතා කරන්නේ නම් Microsoft Launcher එක සහ Cortana වෙනමම download කරගෙන භාවිතා කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ ජංගම දුරකථන ලොව ආධිපත්‍යය පතුරවාගන්නට Microsoft සමාගම ගෙන ගිය වෑයම අසාර්ථක වී තිබෙන බව මේ අනුව පෙනී ගියත්, මේ වන විට ඔවුන්ගේ සේවාවන් අනෙකුත් Mobile Platform වලදී භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කිරීම මගින් වඩාත් හොඳ ආකාරයකින් තමන් වෙත පරිශීකලයන් ඇද බැඳ තබාගැනීමට ඔවුන් හට හැකියාවක් ලැබී තිබෙන බව දකින්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.