වින්ඩෝස් XP වලින් පසුව ඉදිරිපත් වූ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති වලින් වින්ඩෝස් 7 ලෝකයේ බොහෝ දෙනෙක් සිය පරිගණක බලගැන්වීමට යොදාගත්තේ එකල එහි තිබූ නවීන ග්‍රැෆික් සහ නවීන අංගෝපාංගයන් නිසයි.

එසේම කාලයට ගැලපෙන ලෙසින් නිර්මාණය වී තිබීම හේතුවෙන් 2009 වසරේ එළි දැක්වුණ මෙම මෙහෙයුම් පද්ධතිය වේගයෙන් ජනප්‍රිය වුණා.

කෙසේ නමුත් මයික්‍රොසොෆ්ට් විසින් අද දින සිට වසරක් ගතවන තැන වින්ඩෝස් 7 වෙත ලබාදෙන තාක්ෂණික සහාය නවතා දමන බවට නිවේදනය කර තිබෙනවා. තාක්ෂණික සහාය අත්‍යවශ්‍ය වන්නේ ඇයිද යන්න technews.lk සමග රැදී සිටින ඔබට අළුතින් කිව යුතු නැහැ.

හැකර්වරුන් ඔවුන්ගේ හැකින් ප්‍රහාරයන් එල්ල කරන්නේ යම් මෙහෙයුම් පද්ධතියක පවතින තාක්ෂණික දෝෂ හරහායි. ඒ නිසා තාක්ෂණික සහාය, විශේෂයෙන්ම security patches කියන්නේ අත්‍යවශ්‍යයම කරුණක්.

මෙසේ තාක්ෂණික සහාය නවතා දමන්නේ නම් හොදම දේ ඔබගේ මෙහෙයුම් පද්ධතිය නවීන මෙහෙයුම් පද්ධතියකට update කර ගැනීමයි. කෙසේ නමුත් මහා පරිමාණයෙන් වින්ඩෝස් 7 භාවිතා වන ආයතන සහ පරිගණක ජාල වලට තවදුරටත් තාක්ෂණික සහාය ලබාදෙන බව මයික්‍රොසොෆ්ට් පවසනවා.

වාර්ථා වන තොරතුරු වලට අනුව 2018 දෙසැම්බර් වන විටත් ලෝකයේ පරිගණක වලින් 37%ක් මෙම වසර නවයක් පැරණි මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා.

මෙම තාක්ෂණික සහාය අවසන් කිරීමට සමගාමීව MS Office 2010, Windows Server 2008/2008 R2, SQL Server 2008/2008 R2, Exchange 2010 සහ Windows Embedded 7 යන මෘදුකාංග වලට ලබාදෙන තාක්ෂණික සහාය ද නවතා දමන බවට මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft වෙබ් අඩවිය, The Hacker News වෙබ් අඩවිය හා Tech Spot වෙබ් අඩවිය භාවිතා කළ හැක.