Micromax ජංගම දුරකතන වෙළෙඳ නාමය පිළිබඳව ඔබට අමතක නැති බව අප සිතන අතර මීට දශකයකට පමණ ඉහත දී ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ ද අඩු මිල ජංගම දුරකථන ලෙස Micomax smartphone හා feature phone අතිශය ජනප්‍රියව තිබුණා ඔබට මතක ඇති.

ඉන්දීය සමාගමක් වන Micromax සමාගම විසින් එළිදක්වන ලද ජංගම දුරකථන පිළිබඳව මෑත කාලයේ අසන්නට නොලැබුණු අතර ඒ අනුව ශ්‍රී ලාංකීය වෙළඳපොළ තුළ ද නව Micromax ජංගම දුරකථන දැකගැනීමටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කොහොම වුණත් එම නිහැඩියාව බිඳ දමමින් මේ වන විට Micromax සමාගම විසින් යළි ජංගම දුරකථන වෙළඳපොළට ඇතුළුවීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වන අතර එනම් සිය නවතම දුරකථන මාදිලිය වන "Micromax in" දුරකථන පෙළ හඳුන්වා දෙන්නට ඔවුන් සූදානම් වෙනවා.

ඒ අනුව එළැබෙන නොවැම්බර් 11 වන දා ඉන්දියාව තුළ Micromax in series එක එළිදැක්වීමට micromax සමාගම කටයුතු කරනු ඇති.

ඉන්දීය නිෂ්පාදනයන් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් පොලඹවන ආකාරයේ වීඩියෝ පටයක් ද Micromax සමාගම විසින් නිකුත් කර තිබෙන අතර එම වීඩියෝව තුළින් වක්‍රාකාරව චීන ජංගම දුරකථන දුරකථන මාදිලි ප්‍රතික්ෂේප කළ යුතු බව පෙන්වා දී තිබෙනවා.

තේ කෝප්පයකට සීනි එකතු කරන වීඩියෝවක් මෙලෙස පළ කර තිබෙන අතර එහි "Aao Karein Cheeni Kum" ලෙස සටහනක් දක්නට ලැබෙන අතර එහි සරල අර්ථය වන්නේ "සීනි අඩු කරමු " යන්නයි.

කෙසේ වෙතත්, මෙහි ඇති “Cheeni” යනු සීනි ගැන නොව චීන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමයන්ය. මන්ද ඕනෑම චීන දෙයක් හෝ ඕනෑම චීන ජාතිකයෙකු බොහෝ විට ඉන්දියාවේ “Chee-nee” ලෙස හැඳින්වෙනවා.

පසුගිය ජුනි මාසයේදී ඉන්දීය සහ චීන දේශසීමා අතර ඇති වූ ගැටුම නිසා ඉන්දියාව තුළ චීන විරෝධී හැඟීම් වර්ධනය වෙමින් තිබෙන අතර Micromax හි සම නිර්මාතෘ Rahul Sharma විසින් Micromax නාමයේ නැවත පැමිණීම සඳහා එම පසුබිම ද හේතුවක් වූ බව සඳහන් කර තිබෙනවා.

කොහොම වුණත් මෙලෙස නිකුත් කෙරෙන නව in series එක සතු දුරකථන මාදිලි පිළිබඳව තොරතුරු වාර්තා නොවන අතර ඒවා Helio G35 හා Helio G85 යන chipset ඔස්සේ බලගැන්වෙන entry-level මාදිලි බව සඳහන් වෙනවා.

එමෙන්ම ඒවායේ මිල ගණන් එක් මාදිලියක් $95 ක් හා අනෙක් මාදිලිය $205 ක් පමණ වනු ඇති බව අනුමාන කර තිබෙනවා.

ඉහත සඳහන් කළ ආකාරයෙන්ම මීට පෙරද Micromax ජංගම දුරකථන ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ මිලදී ගැනීමට හැකියාව තිබුණ අතර නිළ වාර්තා වලින් සඳහන් කර නොමැති වුවත්, ඉදිරියේදී මෙම Micromax entry-level smartphone මාදිලි ශ්‍රී ලාංකීය වෙළඳපොල තුළ ද දැකගැනීමට හැකිවීමේ විශාල ඉඩක් පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ India වෙබ් අඩවිය භාවිතා කළ හැක.