අපි කාගෙන්හරි ඇහුවොත් ඔබට එදිනෙදා ජීවිතයේදී වැඩියෙන්ම භාවිතා කරන්නේ මොන මෘදුකාංග සමාගමේ මෘදුකාංගයන් ද කියලා, මේ වෙනකොට ඕනම කෙනෙක් දෙන උත්තරේ තමයි "Google".

මොකද අපේ එදිනෙදා වැඩ වලට, ගමන් බිමන් වලට, උයන පිහන දේට පවා අපි Google සමාගමේ විවිධ සේවාවන් පාවිච්චි කරනවා​. මේ Google කියන සමාගම පටන් ගත්තේ සාමාන්‍ය සෙවුම් මෘදුකාංගයක් විදිහට. හැබැයි අද වෙද්දි Google යටතේ Gmail, Google Drive, Classroom වැනි  සේවා 100 කට අධික ප්‍රමාණයක් සපයනු ලබනවා.

මේ වන විට මෙම සේවාවන් අත්විදින පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව බිලියනයකට වඩා වැඩි වන අතර අන්තර්ජාලය සිසාරා යැමට, දැනුම වර්ධනයට, සමාජය සමග සම්බන්ධතා පැවැත්වීමට බොහෝ දෙනා මෙම සේවාවන් උපකාර කරගනී. මේ වසරේ සැප්තැම්බර් 4 වෙනිදාට තාක්‍ෂණික ලෝකය තුල දැවැන්තයකු වන Google සමාගම ඔවුන්ගේ 20 වන උපන්දිනය සමරනවා.

මේ වනවිට Apple හා Amazon වැනි සමාගම් සමග උරෙනුර ගැටිමෙන් Google සමාගමෙහි වෙලදපොල වටිනාකම ඇ.ඩො. ට්‍රිලිනය දක්වා කෙමෙන් කෙමෙන් වැඩි කරගනිමින් සිටිනවා. මෙම වසර 20 තුල ස්වයං ධාවන රථ​, Google සිතියම් සේවාව​, Smartphone මෙහෙයුම් පද්ධති (Operating Systems) වැනි විවිධ පැතිකඩ ඔස්සේ ලෝකය සමග ගනුදෙනු කරන්නට මේ Google සමාගම කටයුතු කර තිබෙනවා.

Google සමාගමේ ඉතිහාසය සැකෙවින්


  • 1996 අගෝස්තු : ලැරී පේජ් සහ සර්ගේ බ්‍රින් එක්ව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට Google හදුන්වාදෙයි
මෙය ප්‍රථමයෙන් "Backrub" ලෙස හදුන්වා ඇත​. පේජ් විසින් World Wide Web ඔස්සේ එක් එක් වෙබ් පිටු සම්බන්ධ කිරීමේ පද්ධතියක් ගොඩ නැගුවා. මෙය Google Search Engine එකේ ආරම්භයයි.
  • 1998 සැප්තැම්බර් 4 : Google ට $100,000 ක මූල්‍යමය ආධාර​
මෙම පද්ධතියේ ඇති විශාල ප්‍රමාණයක් වූ වෙබ් පිටු නිසා ඔවුන් මෙය Googol (1*10^100) ලෙස නම් කරා. ඉන්පසු ඔවුන් සූසන් වොජිකි(Susan Wojchiki) ගේ ගෙදර ගරාජය තුල ඔවුන්ගේ වැඩ කටයුතු වල නිරත උනා. පසුව ඔවුන් මෙය Google නම යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබුවා.
  • 2002 : ඇ.ඩො. බිලියන 3කට Google මිලදී ගැනීමට Yahoo සැරසේ
Google ප්‍රසිද්ධ වීමට පෙර  ලොව පුරා අන්තර්ජාලය පිරික්සීමට භාවිතා කෙරුනේ Yahoo Search Engine එක වන අතර 2002 දී Yahoo සමාගම විසින් ඇ.ඩො. බිලියන 3කට Google සමාගම මිලදී ගැනීමට යෝජනා කරනු ලැබුවා. එහෙත් Google සමාගම එක හෙලාම එයට විරුද්ධ වුනේ ඔවුන්ගේ සමාගම ඒ වනවිට ඇ.ඩො. බිලියන 5කට වඩා වටිනාකමක් ගණනය කර තිබූ නිසායි. පසුකාලිනව Verizon විසින් Yahoo සමාගම ඇ.ඩො. බිලියන 5කට මිලදීගනු ලැබුවා.
  • 2004 අප්‍රේල් 1 : Gmail ලොවට හදුන්වා දීම​
2004 වනවිට පැවති විද්‍යුත් තැපැල් පහසුකම්(Email) වල අපහසුතාව වූයේ දත්ත ගබඩා කිරීමේ අපහසුවයි. Google මෙයට කදිම විසඳුමක් ලෙස 1 GB ඉඩක් සහිත වඩා වේගවත් email පහසුකමක් හදුන්වා දුන්නා. මෙය එවකට පැවති අනෙක් email වල storage එක MB(megabyte) ගණනට වඩා විශාල පිම්මක් විය​. මෙම හදුන්වා දීම කල දිනය (අප්‍රේල් 1) නිසා බොහෝ දෙනා මෙය විහිලුවක් ලෙසට නොසලකා හරිනු ලැබුවා. එහෙත් අද වන විට ප්‍රමුඛම email පහසුකම සපයන්නා Gmail බවට පත් වී තිබෙනවා.
Introducing Gmail
  • 2005 පෙබරවාරි 8 : Google Maps හදුන්වා දීම​
ලොව පුරා අදටත් බහුලව භාවිතා වන වටිනා පහසුකමක් ලෙස Google Maps සැළකිය හැකිය. මෙමගින් මූලිකව සිතියමක් ආශ්‍රයෙන් ගමනාගමන කටයුතු පහසු කරගැනීම​, පියවරෙන් පියවර මගපෙන්වීම සිදු කරයි. Smartphones සදහා Maps යෙදීම ආරම්භ වූයේ 2009 දීය​.
  • 2006 ඔක්තෝම්බර් 9 : YouTube, Google යටතට​
Microsoft, Viacom, Yahoo වැනි සමාගම් පරදවා Google සමාගම විසින් YouTube සමාගම ඇ.ඩො. බිලියන 1.65ක මුදලකට මිලදී ගනු ලැබුවා. වර්තමානය වනවිට තාරුණ්‍යයට නැතුවම බැරි YouTube, Google එකේ අය ගත්තෙ එහෙමයි.
  • 2008 සැප්තැම්බර් 2 : ක්‍රෝම් බ්‍රවුසරය හදුන්වා දීම​
ඩෙස්ක්ටොප් පරිඝණක සදහා ප්‍රධාන වශයෙන් හදුන්වා දුන් Chrome බ්‍රවුසරය අද වන විට ලැප්ටොප් පරිඝණක, ටැබ්ලට් පරිඝණක, Smartphone සදහාද නිශ්පාදනය වේ. 2018 වනවිට ලෝක අන්තර්ජාල භාවිතයෙන් 60%ක් සිදු කෙරුනේ Chrome හරහාය​.
  • 2008 සැප්තැම්බර් 23 : ඇන්ඩ්‍රොයිඩ් නිකුත් කිරීම​
2005 දී ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රචාර රහිතව Google සමාගම විසින් Android සමාගම ඇ.ඩො. මිලියන 50කට මිලදී ගෙන, වසර 3ක පර්‍යේශණ වලින් පසුව ප්‍රථම Android දුරකථනය වන HTC Dream, $179 ක මුදලකට වෙලදපොලට නිකුත් කෙරුනා. මෙය අද දවසේ අපි අත්විදින Android සේවාවට අඩිතාලම සකස් කිරීමක් උනා.
  • 2010 මාර්තු 22 : චීනය Google තහනම් කරයි?
2010 වසර මුල වන විට චීනයේ පුරවැසියන්ගේ email හා පුද්ගලික තොරතුරු පිටත පිරිසක් විසින් ලබාගන්නා බවට දැනගැනීමට ලැබීමත් සමග චීන රජය විසින් Google තම රට තුල තහනම් කරනු ලැබුවා.
  • 2010 ඔක්තෝම්බර් : රියදුරු නැති වාහන​
තම හුරුපුරුදු සීමාවෙන් එපිට ක්ශේත්‍රයකට අත ගැසීමට Google සමාගමෙ නිලධාරීන්ට අවශ්‍ය උනා. එහි ප්‍රතිපලයක් ලෙස කැමරා, කෘතිම බුද්ධිය සමග විවිධ sensors සවි කරන ලද කාර් 7ක් ඔවුන් නිපදවනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය පසුකාලිනව Waymo නමින් හැදින්වුවා.
  • 2011 ජූනි 28 : Google+ නිකුත් කිරීම
Facebook සමාජ ජාලාවේ ආකර්ශණය නිසා තමන්ගේම සමාජ ජාලයක් නිර්මාණය කිරීමට Google සමාගම පෙළඹුණා. එහි ප්‍රතිපලයක් ලෙසට Google+ සමාජ ජාලය හදුන්වා දෙන නමුත් අද වන තුරුත් එහි විශාල ප්‍රගතියක් දැකීමට නොමැත​.
  • 2012 ජූනි: Google Glass
Smartphones හා අනෙකුත් සේවා වලින් ඔබ්බට ගොස් මිනිසෙකුට පැලඳිය හැකි උපාංග නිර්මාණයට ඔවුන් මුලපිරුවේ Google Glass සමගිනි. මෙය සාමන්‍ය ඇස් කණ්ණාඩියක් ලෙස පෙනුනද එමගින් අන්තර්ජාලයට පිවිසීම​, සමාජ ජාලා වල කටයුතු හැසිරවීම​, YouTube වීඩියෝ නැරඹීම ආදී පහසුකම් රාශියකින් සමන්විත වේ.
  • 2016 මැයි : Google Assistant නිකුත් කිරීම
මෙම වසර වන විට Apple සමාගම මගින් සිරි (Siri) හා Amazon සමාගම මගින් ඇලෙක්සා(Alexa) නම් විද්‍යුත් සහකරුවන් පාරිභෝගිකයින්ට හදුන්වා දී තිබුනි. ඔවුන්ට දෙවෙනි නොවී Google සමාගම ඔවුන්ගේම විද්‍යුත් සහකරුවෙක් (Google Assistant) හදුන්වා දුනි.
  • 2016 ඔක්තෝම්බර් : Smartphone පෙලක් නිකුත් කිරීම​
අනෙකුත් smartphones වර්ග සදහා තම ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ලබා දීම වෙනුවට ඔවුන් Google Pixel හා Pixel XL නමින් Smartphone 2ක් තම නිශ්පාදන ලෙස වෙලඳපොලට හදුන්වා දෙන ලදි. මෙම Smartphone නිපදවන ලද්දේ Apple සමාගමේ Smartphone සමග කරට කර තරඟ කිරීම සදහා බව වෙලඳපොල විචාරකයින් බොහෝ දෙනෙකු මත පළ කරයි.

අද වනවිට Smartphone බහුතරයක පාහේ භාවිතා වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මෙන්ම විද්‍යුත් තැපැල, සිතියම් පද්ධතිය​, විද්‍යුත් සහකරු වැනි විවිධාකාර වූ නිශ්පාදන සමග අපගේ සෑම වැඩ කටයුත්තක් සදහාම පහසුව අපගේ දෑතටම ගෙන දීමට Google සමාගම මේ වන විට වසර 20ක් පුරා කටයුතු කර තිබෙනවා. එසේම ඉදිරියටත් එවැනිම පුදුම හිතෙන විදිහේ අංග උපාංග රැසක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නට අපට පුලුවන්.