⁣Chrome web browser එක Google සමාගම විසින් ප්‍රථම වරට නිකුත් කර මේ වන විට වසර 10ක් වෙනවා.

2008 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ පළමුවනදා මෙය ප්‍රථම වරට Windows මෙහෙයුම් පද්ධතිය පාදක කොටගෙන නිකුත් කරන ලද අතර ක්‍රමයෙන් Linux සහ macOS වලට 2009 වර්ෂයේ අග භාගය වන විට නිකුත් කරනු ලැබුවා.

පළමුව Chrome browser එක නිකුත් කරන ලද කාලය වන විට Internet Explorer සහ Firefox browser එක browser යුද්ධයේ මුල් තැන් වල සිටි නමුත්, ක්‍රම ක්‍රමයෙන් මේ සියළුම browsers පරදමින් තම ආධිපත්‍යයට ලොව පුරාම අන්තර්ජාලය භාවිතා කරන්නන් නතු කරගන්නට මේ වන විට සමත් වී තිබෙනවා.

Apple සමාගමේ WebKit rendering engine එක සහ Mozilla Firefox වල හොඳම දේවල් වල එකතුවක් ලෙස මේ Chrome web browser එක එළි දක්වන ලද අතර, එය Chromium යන නමින් open source ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන්නට Google සමාගම කටයුතු කළා.

එමෙන්ම මේ Chrome කියන්නේ මේ වන විට web browser එකකින් එහාට ගිය platform එකක් බවට පත් වෙලා තියනවා. Google සමාගමේ Chrome OS එක කියන්නේ අපි භාවිතා කරන web browser එකෙන් එහාට ගිහින් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් ලෙස ක්‍රියා කරනු ලබන platform එකක්.

කොහොම වුණත් මේ වන විට Chrome කියන්නේ ලොව පුරා මිලියන ගණනක් වූ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ ප්‍රියතම තෝරාගැනීම වන අතර මීළඟ වසර 10 ඇතුලත මේ තත්ත්වය කෙසේ වෙනස් වේවි දැයි සිතාගැනීමට වත් නොහැකි තත්ත්වයක් මේ වන විට පවතිනවා.