Apple සහ Qualcomm සමාගම් අතර පවතින ගැටළුව ආරම්භ වී වසර ගණනාවක් ගත වුවත් පසුගිය වර්ෂයේදී හදිසියේම එය ඉතාමත් උත්සන්න තත්ත්වයකට පත් වූවා මතක ඇති.

මේ අනුව ලොව පුරා රටවල් ගණනාවක, අධිකරණ කිහිපයකම Apple සමාගමට විරුද්ධව නඩු පැවරීමට Qualcomm සමාගම කටයුතු කළ බව පසුගිය කාළසීමාව ඇතුලත කිහිප විටක්ම වාර්ථා වන්නට වුණා.

ඊයේ දිනයේදි San Diego නගරයේ පැවති නඩු විභාගයක් අතරතුරදී, Apple සමාගම විසින් Qualcomm සමාගමට අයත් වූ Patent බළපත්‍ර 3ක අඩංගු තාක්ෂණයන් භාවිතා කර ඇති බව පැහැදිලි වීමත් සමඟින්, Qualcomm සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 31ක මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නඩුව 2017 වර්ෂයේදී ගොණු කරන ලද එකක් වන අතර මේ අකාරයේ නඩු ගණනාවක් ලොව පුරා රටවල් ගණනාවක දකින්නට ලැබෙනවා. එමෙන්ම Apple සමාගමට Qualcomm සමාගම විසින් පවරා ඇති වෙනත් නඩු සමඟ සසඳා බැලීමේදී මෙම නඩුව ඉතාමත් කුඩා එකක් බව බොහෝ දෙනා අදහස් දක්වනවා.

Apple iPhone ජංගම දුරකථන වල,

  • ජංගම දුරකථනය on කළ සැනින් අන්තර්ජාලය හා සම්බන්ධ වීමේ තාක්ෂණය
  • Graphic processing කිරීමේදී ලබාගන්නා battery power එක පිළිබඳව වූ තාක්ෂණයක්
  • Processor එක හා modem එක අතර දත්ත හුවමාරු කිරීම වේගවත් කිරීම මගින්, download speed එක වැඩි කරනු ලබන තාක්ෂණයක්

යන තාක්ෂණයන් ඉහත සඳහන් කළ patent බළපත්‍ර හරහා Qualcomm සමාගම සතු වන අතර ඒවා එම සමාගමේ අවසරයකින් තොරව iPhone ජංගම දුරකථන වල භාවිතා කර තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

නඩු විභාගය අතරතුර Apple සමාගම ප්‍රකාශ කර සිටියේ ඉහත ලැයිස්තුවේ පළමුවැනි තාක්ෂණය Apple සමාගමේ සේවකයෙකු ද නිර්මාණය කර ඇති බැවින්, එම තාක්ෂණය සඳහා ඔවුන් හට ද හිමිකමක් ඇති බව වුවත්, එයට ජූරි සභාව එකඟ වී නොමැති බව වාර්ථා වෙනවා.

මෙම නඩු විභාගය හරහා එළැඹෙන මාසයේ විභාග කිරීමට නියමිත තවත් Patent බළපත්‍ර සම්බන්ධ විශාල නඩුවක ද වාසිය Qualcomm සමාගමට හිමි වනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.