Qualcomm සහ Apple කියන්නේ දීර්ඝ කාලයක සිටම එකිනෙකා අතර හොඳ හිතා දිනාගෙන සිටි සමාගම් දෙකක් නොවන බව මේ වන විට බොහෝ දෙනෙක් දන්න කාරණයක්.

මේ ගින්නට අළුතින් පිදුරු දමමින් Qualcomm සමාගම විසින් Apple සමාගමට විරුද්ධව තවත් නඩු පැවරීමක් සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. මෙවර එය සම්බන්ධ වන්නේ Qualcomm සමාගමට අයත් ව්‍යාපාරික රහස් Apple සමාගම විසින් Intel සමාගමට ලබා දීමට කටයුතු කිරීම බව ඔවුන් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම අලුතින් නිෂ්පාදනය කරනු ලබන සෑම iPhone එකකටම අදාල modem නිෂ්පාදනය කරනුයේ Intel සමාගම වන බැවින් තම iPhone වලටම විශේෂිත වූ හොඳ තත්ත්වයේ modem එකක් නිෂ්පාදනය කරගැනීම උදෙසා Qualcomm සමාගම විසින් Apple සමාගමට ලබා දී තිබූ source code එකක් Intel සමාගමට ලබා දී ඇති බව දැනගන්නට ලැබෙනවා.

Source code අවභාවිතා කිරීම පිළිබඳව Apple සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළ ප්‍රථම වතාව මෙය නොවන අතර මෙයට අදාල වන සාක්ෂ්‍යය Qualcomm සමාගම සතු වන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මෙම තොරතුරු සත්‍යය නම්, Apple සමාගමට මෙයින් ගැලවීමට ඉතාමත් අපහසු තත්ත්වයක් උදා වන අතර දැනගැනීමට ලැබෙන අාකාරයට අදාල තොරතුරු email වලින් යැවීමට අමතරව අදාල source code එක Intel සමාගම මගින් නිෂ්පාදිත ජංගම දුරකථනයක භාවිතා කරන ආකාරය පෙන්වා දීමටත් Apple සමාගම කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙයට අදාල නඩුව ලබන අප්‍රේල් මස විභාග කිරීමට නියමිත අතර මේ අතරතුර කාලසීමාවේදී මේ ගැන බොහෝ තොරතුරු අපිට දැනගන්නට ලැබේවි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට CNBC වෙබ් අඩවිය හා xda-developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.