ඇමරිකානු සම්බාධක හමුවේ Huawei සමාගමට Google Mobile service අහිමි වීමෙන් පසු Google Play Store එකද අහිමි වූ අතර ඊට විකල්පයක් ලෙස Huawei App Gallery, Huawei උපාංග වලට හඳුන්වාදීමට Huawei සමාගම පියවර ගත් බව ඔබ දැනටමත් දන්නා කාරණයක් වෙනවා.

Huawei App Gallery සතුව තවමත් ඇතැම් Mobile apps නොමැති අතර ඊට පිළියමක් ලෙස එලෙස search කරන app වලට අදාල APK වෙනත් මූලාශ්‍ර වලින් download කරගැනීම සඳහා පරිශීලකයන් යොමු කරන පහසුකමක් ලෙස Huawei Petal Search පහසුකම මූලිකව හඳුන්වාදෙනු ලැබුවා.

මෙම පහසුකම පිළිබඳව බොහෝ තාක්ෂණික විශ්ලේෂකයින්ගේ අවධානය යොමු වී ඇති අතර Huawei App Gallery එක, Google Play Store සඳහා සාර්ථක විකල්පයක් වීමට මෙම Petal search පහසුකම මේ වනවිටත් බොහෝ ඉවහල් වී තිබෙනවා.

මේ අතර නවතම තොරතුරු වලින් වාර්තා වන්නේ මෙම Petal Search පහසුකමට, Google, Microsoft Bing වැනි Search Engine සිදු කරන ආකාරයටම සාමාන්‍ය Search Engine එකක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව තිබෙන බවයි.

ඒ අනුව ඔබ Google, Bing වැනි search engine හරහා සිදුකරන news, images හා videos search මෙන්ම shopping, flight booking වැනි දේවල්ද Petal Search මඟින් සිදුකිරීමේ හැකියාව මේ වන විට ලැබී තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම App Gallery තුළ ඇති මෙම පහසුකම Widget එකක් ආකාරයට homescreen එකට ලබාගත හැකි අතර GSM Arena වෙබ්අඩවිය විසින් සිදුකල සමීක්ෂණයකට අනුව, Petal Search ඔස්සේ සිදුකරනු ලබන search වල ඇතැම් results, Microsoft Bing හරහා සිදුවන නමුත්, තුර්කිය, ස්පාඤ්ඤය වැනි රටවලදී එය ස්වාධීන search engine එකක් ලෙස ක්‍රියාත්මක වන බව සඳහන් කර තිබෙනවා.

මේ වන විට Google Services සඳහා Huawei සමාගම විකල්ප නිර්මාණය කරමින් සිටින අතර Android සඳහා Harmony OS ද, Play Store සඳහා App Gallery ද, Google Assistant සඳහා Huawei Celia මෙන්ම Google Search සඳහා මෙම Petal Search ද පෙන්වා දියහැකි අතර, මේ නිසා අනාගතයේදී තවත් වැඩිදියුණු කිරීම් සමඟ Google Services සඳහා සාර්ථක විකල්ප ඉදිරිපත් කිරීමට Huawei සමාගම සමත්වෙනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.