යුරෝපයේ විශාලතම දුරකථන සේවා සපයන්නා වන Vodafone සමාගම විසින් අද දින ප්‍රකාශයට පත් කර ඇති අන්දමට Huawei සමාගම විසින් නිෂ්පාදිත උපකරණ වල සැඟවී තිබුණු backdoors සොයාගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

මෙසේ සොයාගන්නා ලද Backdoors හරහා Huawei ආයතනයට මෙම උපකරණ භාවිතා කරනු ලබන නිවෙස් වල පවතින Network වලට සහ ඉතාලියේ Vodafone Fixed-line network එකට ඇතුළු වීමේ හැකියාව ලබාගතහැකි වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Backdoor එකක් යනු
සරළව පැහැදිළි කළහොත්, යම්කිසි device එකක් හෝ පද්ධතියක් නිෂ්පාදනය කිරීමේදී, අලෙවියෙන් පසුව ඒවා වෙත ඇතුළු වී එහි කටයුතු පාලනය කිරීමට හෝ දත්ත ලබා ගැනීම වෙනුවෙන් නිෂ්පාදකයන් විසින් රහසින් ඇතුලත් කර තිබෙන ක්‍රමවේදයක් ලෙස සැළකිය හැක.

මේ දුර්වලතාවයන් 2009 සහ 2011 වර්ෂ වලදී මුල් වරට නිවෙස් සඳහා ලබා දී තිබූ internet routers වල සහ Vodafone network එක ගොඩනැගීමට භාවිතා කර තිබූ උපකරණ වල ඇතුලත් වන බව සොයාගන්නා ලද අතර 2011 සහ 2012 වර්ෂය වන විට මේවා fix කරනු ලැබූ බව Huawei සමාගම වාර්ථා කර තිබෙනවා.

කොහොම නමුත් මේ වන විට සොයාගෙන ඇති තොරතුරු අනුව 2012 වර්ෂයෙන් පසුවත් බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් වල Vodafone network එක සඳහා භාවිතා කර ඇති අතර මේවායේ ද මෙම ගැටළුව තවදුරටත් තිබී ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ වන විටත් Huawei devices වලින් ඔත්තු බලනු ලබන බව ප්‍රකාශ කරමින් ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය හා තායිවානය යන රටවල් විසින් Huawei උපාංග තහනම් කර ඇති අතර ඉහත දුර්වලතාවය පැවති රටවල් මේ වන තුරු එසේ තහනමකට ලක් කර නොතිබූ රටවල් ලෙස හඳුනාගතහැකි වෙනවා.

Huawei උපාංග වල මිළ ගණන් අනෙකුත් සැපයුම්කරුවන් හා සැසඳූ විට ඉතාමත් අඩු නිසාවෙන් බොහෝ ආයතන විසින් ඔවුන්ගෙන උපකරණ මිලදීගැනීමට පෙළඹෙන බව දැකගතහැකි වන අතර මීළඟට ලොව ව්‍යාප්තවීමට නියමිත 5G ජාලයන්ගේ නිෂ්පාදන කටයුතු සඳහා Huawei නිෂ්පාදන භාවිතා කිරීමට මේ වන විටත් බොහෝ ආයතන කටයුතු කරමින් පවතින බව වාර්ථා වෙනවා.

කොහොම නමුත් මේ වන තුරු මෙම Backdoor හරහා Huawei සමාගම විසින් තොරතුරු හුවමාරු කරගෙන තිබෙන බවට කිසිඳු සාක්ෂියක් නොමැති බව ද මෙම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Bloomberg වෙබ් අඩවිය හා Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.