HTC කියන්නේ smartphone ලෝකයේ කිරුළ දරාගෙන සිටි ජංගම දුරකථන නිශ්පාදකයෙකු වුවත්, මේ වන විට ඔවුන්ගේ ජංගම දුරකථන අලෙවිය පහත වැටීම නිසා ඉතාමත් අසීරුතාවයට පත් වුණු ආයතනයක් වෙලා.

මේ අනුව HTC හි තායිවානයේ පිහිටා ඇති අංශයෙන් සේවකයින් 1,500 ක පමණ ප්‍රමාණයක් ඉවත් කරන්නට ඔවුන් මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඔවුන්ගේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව සමඟ සසඳා බැලූ විට මෙය 22% ක ප්‍රතිශතයක් වෙනවා. ඒ වගේම මෙයට ප්‍රධානම හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය මාස තුනක කාලයෙහි ඔවුන්ගේ smartphone අලෙවියෙහි ඇති වූ සීඝ්‍ර පසුබෑමයි.

ඔයාලට මතක ඇති පසුගිය ජනවාරි මාසයේ Google එකෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 කට HTC Design team එක මිළදී ගත්තා. කොහොම වුණත් මෙහි ඉන්න සේවකයින් 2,000 ක පමණ ප්‍රමාණය ඉහත කී පිරිසට සමඟ සේවයෙන් ඉවත් කිරීමකට ලක් වන්නේ නැති බවත් දැනගන්න ලැබෙනවා.

HTC සමාගම විසින් සේවකයින් සේවයෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙය නොවන අතර ඇමෙරිකාවේ පිහිටි ඔවුන්ගේ VR අංශයෙන් මේ ආකරයට සේවකයින් පිරිසක් ඉවත් කරන්නට කටයුතු කළා. කොහොම වුණත් මේ පියවර ඔස්සේ මේ අවුරුද්දේ අවසාන භාගය වන විට නැවතත් ඔවුන්ගේ ජංගම දුරකථන අලෙවිය යථා තත්ත්වයට පත් කරගැනීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.