බස් රථ වල හා දුම්රිය වල කෙතරම් සෙනඟ සිටීදැයි පෙන්වීමේ පහසුකමක් Google Maps වලට ඇතුලත් කිරීමට Google සමාගම කටයුතු කළ බව පසුගිය ජුනි මස 29 වැනි දින අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, ශ්‍රී ලංකාවේ බස්නාහිර පලාත තුළ ගමනාගමන කටයුතු සිදු කරන දුම්රිය සේවාවන් හා බස් රථ ගැන තොරතුරු Google Maps සේවාව හරහා ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙන අතර ඔබට යම්කිසි ස්ථානයකට ගමන් කිරීමේ අවශ්‍යයතාවයක් ඇත්නම්, අදාල ස්ථානයට ගමන් කළ හැකි බස් රථ හා දුම්රිය වාර ගැන තොරතුරු දර්ශනය කරනු ලබනවා.

මෙහි විශේෂත්වය වන්නේ අපට අවශ්‍යය ස්ථානයට ගමන් කිරීමට සෘජුව භාවිතා කළ හැකි බස්/දුම්රිය වාර ගැන සහ ඊට අදාල ගත වන කාළසීමාවන් ගැන තොරතුරු ලබා දෙන අතරම, අදාල ස්ථානයට ගමන් කළ හැකි වෙනත් මාර්ග සහ ඒ සඳහා බස් කිහිපයක් භාවිතා කරමින් ඉතාමත් ඉක්මණින් ගමන් කළ හැකි ආකාරයන් පවා දැනගැනීමට හැකි වීමයි.

උදාහරණයක් ලෙස කොල්ලුපිටියේ සිට කඩුවෙලට ගමන් කිරීමට අවශ්‍යය පුද්ගලයෙකු හට 177 route එක හරහා සෘජුව ගමන් කිරීමට පැය 01ක් සහ මිනිත්තු 08ක් ගත වන බව මෙන්ම, අදාල ස්ථානයටම කොල්ලුපිටියේ සිට කොටුවට දුම්රියෙන් ගමන් කර, එතැන් සිට කඩුවෙලට බස් රථයක් මගින් ගමන් කිරීමට ගත වන සම්පූර්ණ වේලාව මිනිත්තු 53ක් පමණක් බවත් මේ හරහා දැකගත හැකි වෙනවා.

අදාල තොරතුරු වල නිරවද්‍යයතාවය පිළිබදව වග කිය ආයතනය බස්නාහිර පලාත් ප්‍රවාහන අධිකාරිය ලෙස පෙන්නුම් කරන අතර අදාල බස් හා දුම්රිය සේවාවන් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා අදාල වෙන වෙබ් අඩවිය හා දුරකථන අංකය ද මේ හරහා ලබා දීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ සඳහා අවශ්‍යය දත්ත ජාතික ප්‍රවාහන කොමිෂන්සභාව හා මොරටුව සරසවිය එක්ව Google සමාගමට ලබා දීමට කටයුතු කර ඇති අතර ජාතික ප්‍රවාහන කොමිෂන්සභාවේ 25 වැනි සංවත්සරයට සමගාමීව මෙම සේවාව ආරම්භ කිරීමට කටයුතු කර තිබුණු බව දැනගන්නට ලැබෙනවා.

ඔබ බස්නාහිර පලාතේ ජීවත් වන කෙනෙක් නම්, ඔබගේ Google Maps app එක අලුත්ම version එකට update කරගැනීම හරහා මේ පහසුකම භාවිතා කිරීමේ හැකියාව ඔබට ලබාගත හැක.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Transit වෙබ් අඩවිය, FT.LK වෙබ් අඩවිය හා Newsfirst.lk වෙබ් අඩවිය භාවිතා කළ හැක.