Google Maps app එක හරහා ඔබ ගමන් කිරීමට නියමිත බස් රථය හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවන් වල කෙතරම් සෙනඟ සිටීදැයි යන්න පිළිබඳව prediction එකක් ලබාදීමේ පහසුකමක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

පසුගිය මාස ගණනාව පුරාවට Google Maps භාවිතා කරන විවිධ පුද්ගලයන්ගෙන් අදාල තොරතුරු එකතු කරගැනීමට Google ආයතනය කටයුතු කර ඇති අතර මේ වන විට අදාල predictions ලබා දිය හැකි ප්‍රමාණයට දත්ත එකතු කර ඇති බවත්, ලොව පුරා නගර 200ක පමණ මේ වන විටත් මේ පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලබාදීමටත් කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

කොහොම වුණත් මේ පහසුකම හරහා අදාල බස් රථයේ සැබැවින්ම සිටින සෙනඟ පිළිබඳව දත්ත ලබා නොදෙන අතර, පසුගිය කාළසීමාවක දත්ත පදනම් කරගනිමින් ඊට අදාල අනාවැකියක් පමණක් සපයන බව මතක තබාගත යුතු වෙනවා.

මීට අමතරව අදාල බස් රථ මාර්ග තදබදයට හසු වී තිබෙනවාද යන්න පිළිබඳව ද මේ හරහා තොරතුරු ලබා දීමට Google සමාගම කටයුතු කරනු ඇති අතර මේ හරහා ඔබ ගමන් කිරීමට නියමිත බස් රථය පැමිණීමට නියමිත වේලාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට ද ඔබට හැකියාව ලැබෙනවා.

මේ පහසුකම පසුගිය ජුනි 27 වැනිදා සිට ලොව පුරා නගර 200කට අධික ප්‍රමාණයක Android සහ iOS භාවිතා කරන Google Maps පරිශීලකයන් හට ලබා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.