ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී තිබෙන COVID-19 වසංගත තත්ත්වය නිසා තාක්ෂණික සමාගම් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ වෙනත් සමාගම රැසක්ම නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව හදුන්වාඳීමට කටයුතු කරනු ලැබූ බව මීට පෙර අවස්ථා කිහිපයකිදීම අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ අතර Google සමාගම විසින් ඔවුන්ගේ සේවකයින් කොපමණ කාලයක් දක්වා නිවෙස් වල සිට වැඩ කිරීම සිදු කළ යුතු ද යන්න පිළිබඳව මේ වන විට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Sundar Pichai මහතා විසින් අනෙකුත් විධායක නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව කාර්යාලය සඳහා අත්‍යාවශ්‍ය නොවන සේවකයින් ලබන වසරේ ජුනි 30 දක්වා නිවසේ සිට වැඩ කළ යුතු වනවා.

ඒ අනුව ගිවිසුම්ගත දෙලක්ෂයකට අධික සේවකයින් සඳහා මෙම තීරණය බලපානු ඇතැයි Wall Street Journal පුවත්පත වාර්තා කර තිබෙනවා.

Email පණිවිඩයක් ඔස්සේ මේ සම්බන්ධයෙන් සේවකයින් දැනුවත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙන අතර Google සමාගම විසින් කාර්යාලයේ සිටීම අත්‍යවශ්‍ය වන සේවකයින් සඳහා ජූලි මස සිට කාර්යාල විවෘත කිරීමට කටයුතු කරන බව මීට පෙර දන්වා තිබුණා.

එමෙන්ම සැප්තැම්බර් මස සිට කාර්යාලයට පැමිණෙන සේවකයින් සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි කිරීමට කටයුතු කරන බවද සඳහන් කර තිබු අතර මෙම වසර අවසාන වන කාලය වන විට කාර්යාලයට නැවත පැමිණීම හෝ නොපැමිණීම සේවකයාට ම තීරණය කළ හැකි බව ද Google සමාගම ප්‍රකාශ කර තිබුණා.

වසංගත තත්වය යම් ප්‍රමාණයකින් පාලනය වී ඇති පසුබිම තුළ වුවද Facebook, Twitter වැනි සමාගම් පවා සිය සේවකයින්ට තවදුරටත් දින නියමයකින් තොරව නිවසේ සිට වැඩ කල යුතු බව දන්වා තිබෙනවා.

මේ ගැන වැඩදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය, Forbes වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.