Android කියන්නේ මේ වන විට අපි අවට ඇති හැම device එකක් ම වගේ බළගන්වන්න පුළුවන් විදිහේ මෙහෙයුම් පද්ධතියක් බවට පත් වෙලා තියනවා.

Google සමාගම විසින් මේ Android මෙහෙයුම් පද්ධතිය අනාගතයේදී නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ සඳහා අන්තර්ගත කිරීම වෙනුවෙන් Renault-Nissan-Mitsubishi යන අායතන සමඟින් එකතු වී නිෂ්පාදන කටයුතු සිදු කිරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා.

මේ අනුව 2012 වර්ෂය වන විට මේ හරහා නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ මිලියන ගණනක infotainment system එක සහ dashboard display එක සැරසෙන්නේ Google සමාගම විසින් නිර්මාණය කරනු ලබන Android මෙහෙයුම් පද්ධතිය හරහා වන අතර Google Maps, Google Assistant වැනි apps මෙන්ම Android App Store එක ද මේ හරහා access කිරීමට රියදුරාට අවස්ථාව ලැබෙනවා.

ඉහත සඳහන් කළ ආයතන වල මෙම වසරේ මුල් කාර්තුවේ මෝටර් රථ නිෂ්පාදනය මිලියන 5.5ක් පමණ වන අතර මෙය Volkswagen සහ Toyota යන සමාගම් වල නිෂ්පාදනයටත් වඩා ඉහළ අගයක් වෙනවා.

මේ පිළිබඳව මෙම වාහන නිෂ්පාදකයින් අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ තමන් විසින් නිර්මාණය කරනු ලබන මෘදුකාංග වලට වඩා වැඩියෙන් මේ Google Maps සහ වෙනත් apps භාවිතා කරන්නට තම පාරිභෝගිකයින් ප්‍රියතාවයක් දක්වන බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කළ බවයි.

එමෙන්ම මෙම මෙහෙයුම් පද්ධතිය 2007 වර්ෂයේ සිට open source ලෙස පැවතීම නිසාවෙන් ඒ පිළිබඳව ඇති විශ්වාසය තහවුරු වී තිබෙන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ අතර මෙම මෝටර් රථ හරහා ලබා ගන්නා භාවිතා කරනන්න්ගේ දත්ත Google සමාගමට ලබා දීමට කටයුතු කරනු ලබන බවත් ඒ වෙනුවෙන් භාවිතා කරන්නාගෙන් අදාල අවසරය ලබා ගැනීමට කටයුතු කරනු ලබන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම වුණත් මේ වන විටත් Volkswagen සමාගම විසින් ඔවුන්ගේ Audi මෝටර් රථ මාලාවේ navigation system එක වෙනුවෙන් Google Maps භාවිතා කරනු ලබන අතර Volvo සමාගම ද ඔවුන්ගේ මීළඟ මෝටර් රථ වලට මේ Android මෙහෙයුම් පද්ධතිය එකතු කිරීමට කටයුතු කරන බව දැනගන්නට ලැබෙනවා.