Google සමාගම විසින් මේ වන විට Google Maps app එක හරහාම street parking සඳහා ගෙවීම් කටයුතු සිදු කිරීමට නව අංගයක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

මෙම නව පහසුකම දැනටමත් එක්සත් ජනපදයේ Texas ප්‍රාන්තයේ Austin ප්‍රදේශයේ පරිශීලකයන් හට ‍ලබාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

2017 වසරේ මුල් භාගයේදී Google Maps හරහා වාහන නැවැත්වීමේ පහසුකම් තිබේද යන්න පෙන්වීම ආරම්භ කල අතර ඉන්පසුව එම වර්ෂයේ අග භාගයේදී ගමනාන්තයට ආසන්නව වාහන නැවැත්වීමේ ස්ථාන සොයා ගැනීම සඳහා “find parking” නමින් පහසුකමක් එකතු කරනු ලැබුවා.

මෙම නවතම පහසුකම මඟින් අදාල ප්‍රදේශය තුළ ඔවුන්ගේ ගමනාන්තයට ළඟා වන රියදුරන් හට Google Maps app එක තුළින්ම වාහන නැවැත්වීම සඳහා මුදල් ගෙවීමටද අවස්ථාව ලැබෙනවා.

Google සමාගම සඳහන් කරන්නේ ඔවුන් Passport ආයතනය සමඟ සහයෝගයෙන් මෙම ගෙවීම් පහසුකම ඒකාබද්ධ කිරීමට සූදානම් බව වන අතර, Passport යනු වාහන නැවැත්වීමේ කළමනාකරණය සරල කිරීම සඳහා දුරකථන පදනම් කරගත් ගෙවීම් තාක්ෂණයක් දියුණු කිරීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කල මෘදුකාංග සමාගමකි.

මෙහි ගෙවීම් කටයුතු Google Pay සේවාව හරහා සිදු කරනු ලබන අතර, Android, iOS මෙන්ම web version භාවිතා කරන Google Maps පරිශීලකයින් හට මෙම පහසුකම භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

මෙම පහසුකම භාවිතා කිරීමට “Start a new session” යන්න මත tap කල පසු, අදාල පරිශීලකයා අසල ඇති sign එකෙහි හෝ parking meter එකෙහි ඇති පරිදි වාහන නැවැත්වීමේ කලාප අංකය ඇතුළත් කල යුතු වෙනවා.

ඉන්පසුව අදාල වාහනය save කිරීමට හැකියාව ලබා දෙන අතර මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම වේගවත් කිරීම සඳහා එම වාහනයේ බලපත්‍ර තහඩු අංකය ඇතුළත් කළ යුතු වෙනවා.

මීට අමතරව Navigation drawer එක මගින් ඔබට “Active sessions”, එහෙමත් නැතිනම් දැනට ක්‍රියාත්මකව පවතින් parking sessions බැලීමට හැකියාව තිබෙනවා.

මෙම විශේෂාංගය මගින් ගෙවීම් කටයුතු වේගවත්ව සහ පහසුවෙන් කර ගැනීමට හැකි වෙනවාට අමතරව parking meter හෝ ticketing machines භෞතිකව ස්පර්ශ කිරීමේ අවශ්‍යතාවයද අඩු වන බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.

මේ වන විට මෙම පහසුකම Texas හි Austin ප්‍රදේශයේ පමණක් ක්‍රියාත්මක වන නමුත් අනාගතයේදී එක්සත් ජනපදයේ අනෙකුත් නගර සඳහා ද මෙම පහසුකම පුළුල් ලෙස ලබාදීමට Google සමාගම සැලසුම් කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.