Google සමාගම ඔවුන්ගේ Google Play Services සේවාවන් Android 4.0 සිට 4.0.4 දක්වා වූ සංස්කරණ, එනම් Ice Cream Sandwich වලට සහාය දැක්වීම නිළ වශයෙන් නතර කර දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව Android Ice Cream Sandwich භාවිතා කරනු ලබන සියළුදෙනා හට Google Play Service app එක (14.7.99 සිට අලුත් versions දක්වා) Google Play Store එක හරහා update කිරීමේ හැකියාව අහිමි වී යනවා.

Google Play Service යනු බොහෝ App developers ලා විසින් තමන්ගේ app නිර්මාණය කිරීමේදී Push notifications, Realtime Databases වැනි සේවාවන් රාශියක් එකතු කරගැනීමට භාවිතා කරනු ලබන framework එකක් ලෙස හැඳින්විය හැක.

Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනු ලබන බිලියන 2ක පරිශීලකයින් අතරින් වැඩි පිරිසක් මේ වන විට භාවිතා කරනු ලබන Android version එක ලෙස වාර්ථා වන්නේ Android 7.0 එහෙමත් නැතිනම් Android Nougat සංස්කරණයයි.

පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා වන විට මේ Ice Cream Sandwich සංස්කරණය භාවිතා කරනු ලබන පිරිස සමස්ථ Android පරිශීලකයින් ගෙන් 0.03% ක් පමණ වන බව ඔවුන් පෙන්වා දෙනවා. මෙය ඉතා කුඩා ප්‍රතිශතයක් ලෙස බැළු බැල්මට සිතුණත්, බිලියන දෙකක් වන සමස්ථ පරිශීලකයන් අතරින් මිලියන 6ක් පමණ ජංගම දුරකථන හා tablet මේ අතරට ඇතුලත් වෙනවා.

මේ අනුව සියළුම Android developers ලා හට තම app වල minimum target API level එක අවම වශයෙන් 16 (Android 4.1 Jelly Bean) ලෙස වෙනස් කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

යම්කිසි developer කෙනෙකුට මීට පහළ versions සඳහා තවදුරටත් තම apps build කිරීමට අවශ්‍යය නම්, ඒ සඳහා minimum API level එක 14 හෝ 15 ලෙස සැකසූ තවත් APK එකක් build කිරීමට සිදු වනු ඇති අතර මේ සඳහා ද Build variants නම් වූ පහසුකමක් Android development වල පවතිනවා.


අපේ Techie Android App එකේ  අලුත් update වලටත් මේ හරහා බළපෑමක් ඇති වන අතර, ඔයා තවමත් Android ICS භාවිතා කරන, ඒ වගේම අපේ app එකත් භාවිතා කරන කෙනෙක් නම්, අපේ Community එකට ඇවිත් මේ ගැන comment එකක් දාන්න. එහෙම කවුරුත් නැතිනම්, අපිට ICS ඉවත් කරලා, Jelly Bean වලට minimum target API level එක සකස් කරන්න හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Developer Blog එක, The Verge වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.