Google සමාගම කියන්නේ පරිශීලකයන්ගේ දත්ත නිරන්තරව විවිධ ආකාරයෙන් භාවිතා කරමින් වඩාත් හොද සේවාවන් පරිශීලකයන් හට සමීප කරවන්නා වූ ආයතනයක් කිව්වොත් නිවැරදියි.

අන්තර්ජාලය තුල සිදු කරන මිලදීගැනීම් සියල්ලටම පාහේ Email මගින් receipt එකක්, එහෙමත් නැතිනම් confirmation එකක් ලැබෙන බව ඔබ මේ වන විටත් අත්දැකීමෙන්ම දැනුවත් ඇති. ඉතින් මේ Email භාවිතා කරමින් Google සමාගම ඔබ සිදු කරන මිලදීගැනීම් සියල්ලම track කර ඇති බව ඔබ දැන සිටියා ද?

CNBC වෙබ් අඩවිය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව Gmail පරිශීලකයන් හට තමන් විසින් පසුගිය වසර කිහිපය පුරාවට සිදුකරන ලද මිලදී ගැණුම් නැවත දැකගැනීමට හැකිබව හෙළිදරව් වී ඇත. ඔබගේ Google ගිණුමේ "Purchase" පිටුව හරහා ඔබ විසින් සිදු කරනු ලැබූ මිලදීගැනීම් පිළිබඳව Google සමාගම දන්නා දේ දැකගැනීමේ හැකියාව ලැබෙනවා.

Amazon, eBay, Aliexpress හරහා මිලදීගනු ලබන භාණ්ඩ හා සේවා මෙන්ම Steam, Skype, Spotify වැනි සේවාවන් හරහා ලබාගන්නා subscription වල තොරතුරු පවා මේ ආකාරයට මෙහි අන්තර්ගත වෙනවා.

Google සමාගම පවසන අකාරයට මෙම මිලදී ගැනීම් පිළිබඳ තොරතුරු අදාල පුද්ගලයා හට පමණක් දැක ගැනීමට හැකිවන පරිදි, පරිශීලකයන්ගේ පුද්ගලිකත්වය හා දත්ත වල ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. මීට අමතරව මෙම තොරතුරු භාවිතා කරමින් පරිශීලකයන් හට වෙළඳ දැන්වීම් පෙන්වීම සඳහා යොදා නොගන්න බවද Google සමාගම තහවුරු කර තිබෙනවා.

යම් පරිශීලකයකුට මෙම මිලදී ගැනුම් ඉවත්කර දැමීමට අවශ්‍යය නම් ඒ සදහා‌‌ මුලින්ම myaccount.google.com/purchases වෙත පිවිසිය යුතු වන අතර එහිදී ඔබ විසින් සිදුකරන ලද මිලදී ගැනුම් මේ ආකාරයෙන් දැකගත හැක.

ඔබට ඉවත් කිරීමට අවශ්‍ය ගණුදෙනුව click කලවිට 'Remove Purchase' option එක හරහා ඔබට මිලදී ගැණුමට අදාළ Email පණිවුඩය විවෘත කරගැනීමේ හැකියාව ලැබෙන අතර අදාල Email එක delete කිරීමෙන් මෙම transaction එක පිළිබඳ තොරතුරු ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා.

බොහෝ වෙලාවට අපේ පෞද්ගලික දත්ත එකතු කිරීම පිළිබඳව Facebook ආයතනයට බොහෝ දෙනා බැණවැදෙන නමුත් Google සමාගම විසින් එම ප්‍රමාණයටත් වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් අපේ දත්ත භාවිතා කර එකතු කරනු ලබන බව මේ උදාහරණය හරහා ඔබට පැහැදිළි වනු ඇත.

කොහොම නමුත් Google සමාගම මේ ආකාරයෙන් එකතු කරගන්නා තොරතුරු භාවිතා කරමින් Google Assistant, Maps, Search, Gmail වැනි සේවාවන් පරිශීලකයාට තවත් සමීප කිරීමට කටයුතු කරනු ලබන අතර Facebook සමාගම එම දත්ත භාවිතා කරමින් වෙළඳදැන්වීම් පෙන්වීම හා හරිහැටි ආරක්ෂිතව තබාගැනීමට පවා නොහැකි බව නිසාවෙන් නිතරම පරිශීලකයන්ගේ උදහසට ලක් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNET වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.