පසුගිය වසරේ Android නිසාවෙන් Google සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ වූ දඩ මුදලකට යටත් වීමට සිදු වුණු බව ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් නැවතත් යුරෝපා කොමිසම හමුවේ, Google සමාගමට යුරෝ බිලියන 1.49ක, එනම් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක පමණ දැවැන්ත දඩ මුදලකට යටත් වීමට සිදුව තිබෙන බව මේ වන විට වාර්ථා වෙනවා.

මෙවර මෙම තත්ත්වය හටගැනීමට ප්‍රධානතම සාධකය වී තිබෙන්නේ Google Adsense භාවිතා කරන්නන් හට Google සමාගම විසින් පනවා ඇති රෙගුලාසි කිහිපයක් හරහා අනෙකුත් online advertising සිදු කරනු ලබන ආයතන වලට බළපෑමක් ඇති වීම බව දැනගන්නට ලැබෙනවා.


Google Adsense platform එක තමන්ගේ වෙබ් අඩවියෙහි භාවිතා කරනවා නම්, වෙනත් advertising platform එකක් හරහා එම වෙබ් අඩවියෙහි ads පෙන්වීම පිළිබඳව Google සමාගම එතරම් කැමැත්තක් නොදක්වන බව බොහෝ විට ඔබ දන්නවා ඇති.

මේ අනුව 2006 වර්ෂයේ සිට යුරෝපයේ වෙබ් අඩවිය වලින් 70%ක පමණ ප්‍රමාණයක ඒකාධිකාරයක් හිමි කරගනිමින් advertising ලෝකයේ දැවැන්තයා බවට Google සමාගම පත්ව ඇති බවත්, ඔවුන්ගේ මෙම නීති-රීති නිසාවෙන් අනෙකුත් සමාගම් වලට වෙළඳපොල තරඟයක් ලබා දීමට නොහැකි වන බවත් යුරෝපා කොමිසම මේ පිළිබඳව අදහස් දක්වනවා.

  • 2006 වර්ෂයේ සිට වෙබ් අඩවි හිමිකරුවන් හට ඔවුන්ගේ search results වල Google Adsense තරඟකරුවන්ගේ ads පෙන්වීම තහනම් කිරීම
  • 2009 මාර්තු මාසයේ සිට Premium Placement නම් concept එකක් භාවිතා කරමින් වෙබ් අඩවියක ads පෙන්වීමට තිබෙන හොඳම space එක ඇතුලුව, එක් page එකක පෙන්විය යුතු අවම ads ප්‍රමාණය පිළිබඳව නියමයක් ඉදිරිපත් කිරීම නිසාවෙන් වෙනත් තරඟකරුවන් හට වටිනා ස්ථාන වල ads පෙන්වීමට නොහැකි වීම
  • 2009 මාර්තු මාසයේ සිට Adsense හැරෙන්නට වෙනත් advertisement platform එකක් භාවිතා කරනවා නම්, ඒ පිළිබඳව Google සමාගමේ ලිඛිත අවසරයක් ලබා ගත යුතු වීම.

යන කාරණාවන් මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානයට ලක් කර තිබෙන බව පැහැදිළි වෙනවා.


මේ අනුව 2017 වර්ෂයේ ජූනි මස ‍යූරෝ බිලියන 2.42ක් ද, 2018 වර්ෂයේ ජුලි මස යූරෝ බිලියන 4.34ක් මෙන්ම මෙවර යූරෝ බිලියන 1.49ක් ද වශයෙන් බිලියන ගණනින් වන අති විශාල දඩ මුදල් ත්‍රිත්වයකට යුරෝපා කොමිසම හමුවේ Google සමාගමට යටත් වීමට සිදු වුණා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යුරෝපා කොමිසම විසින් නිකුත් කළ නිළ නිවේදනය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.