Google සමාගම ඔවුන්ගේ Allo සේවාව හඳුන්වා දීමත් සමඟම Google Duo සේවාව ද එළිදැක්වූ අතර මේ වන විට Allo සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමටත්, Duo තවත් වැඩිදියුණු කරමින් පවත්වාගෙන යාමටත් ඔවුන් කටයුතු කරමින් පවතිනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට මේ Google Duo app එක Play Store එක හරහා බිලියනයකට අධික වාර ගණනක් download කර තිබූ අතර මෙය සීග්‍රයෙන් ජනපිය වන සේවාවක් බවට පත් වෙලා තිබෙනවා.

කොහොම නමුත් Android, iOS සහ Chromebook වලට මේ app එක ලබා දී තිබුණත් පරිගණකයක් හරහා Duo සේවාව භාවිතා කිරීමේ හැකියාව මේ වන තුරු ලබා දී තිබුණේ නැහැ. ඔන්න දැන්, Google සමාගම විසින් මේ Google Duo සේවාව වෙනුවෙන් Web App එකක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙන අතර එය duo.google.com යන URL එක හරහා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා.

ඉතාමත් සරළ user interface එකකින් සමන්විත වන මෙයට අදාල පරිශීලකයාගේ contact list එක තුලින් Duo සඳහා සහාය දක්වන්නන් පමණක් පෙන්වනු ලබන අතර නම හෝ දුරකථනය අංකය භාවිතා කිරීමෙන් search කරගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා.

මේ හරහා Video call මෙන්ම සාමාන්‍යය voice call ලබා ගැනීමේ හැකියාව ද ලබා දී තිබෙන අතර ඇමතුම ලබාගන්නා මෙන්ම ලැබෙන්නා හට ද Duo account එකක් තිබීම අනිවාර්යය වෙනවා.

මේ අලුත් Web App එක Chrome, Safari සහ Firefox යන web browser වල හොඳින් වැඩ කරන නමුත් Microsoft Edge සඳහා තවමත් සහාය නොදක්වන බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.