පසුගිය වසරක පමණ කාලසීමාව තුලදී Android වගේම iOS වලත් ප්‍රධාන apps කිහිපයකටම පාහේ dark mode එක එහෙමත් නැතිනම් night mode එක හඳුන්වා දීමට බොහෝ සමාගම් කටයුතු කරනු ලැබුවා දකින්නට ඇති.

රාත්‍රී කාලයේදී ඇස් වල යහපැවැත්ම වෙනුවෙන් මෙය මූලිකව හඳුන්වාදීමට කටයුතු කළත්, මේ හරහා Android හෝ iPhone දුරකථනයක් මතදී එහි battery life එකට කරනු ලබන බළපෑම ඉතාමත් ප්‍රබල බව සාක්ෂි සහිතව පෙන්වා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මෙයට ප්‍රධාන හේතුව වෙන්නේ AMOLED display වලදී අඳුරු වර්ණයන් පෙන්වීම වෙනුවෙන් අදාල ස්ථානයන්හි පිහිටා තිබෙන LED වලට අඩු විදුලියක් වැය වීම වන අතර, කළු වර්ණය පෙන්වීමේදී එම LED සම්පූර්ණයෙන්ම නිවා දැමීම සිදු කරනවා.

Displays ගැන TechTrack එකේ මලින්ද අයියාගේ පැහැදිලි කිරීමක්

පසුගිය දිනක පැවති Android Dev Summit එකේදී මේ පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙන අතර මේ අනුව විවිධ වර්ණ පෙන්වීමේදී display එකට ඒ වෙනුවෙන් භාවිතා කිරීමට සිදුවන battery power එක සංසන්දනාත්මකව පෙන්වා දී තිබෙනවා.

Android මෙහෙයුම් පද්ධතිය සඳහා Google සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන Material Design යන guideline එක හරහා සුදු වර්ණයට මුල් තැනක් ලබා දුන්නත්, මේ අනුව සුදු වර්ණය පෙන්වීම සඳහා වැඩිම power consumption එකක් සිදු වන බව දැකගතහැකි වෙනවා.

කොහොම වුණත්, Google සමාගම ඔවුන්ගේ ප්‍රධාන apps එකින් එකට මේ Dark mode එක හඳුන්වාදෙමින් පවතින අතර මේ වන විට YouTube සහ Android Messages app වලට එය ලබා දීමටත් කටයුතු කර තිබෙන නමුත් මෙහෙයුම් පද්ධතිය පුරාම දිවෙන dark mode එකක් ගැන නම් තවමත් තොරතුරක් දැනගන්නට ලැබෙන්නේ නැහැ.

Google Pixel ජංගම දුරකථනයක YouTube app එකේ dark mode සහ සාමාන්‍යය theme එක භාවිතා කිරීමේදී සිදුවන power consumption එක උදාහරණයට ගෙන ඔවුන් මෙම තත්ත්වය පැහැදිලි කිරීමට කටයුතු කර ඇති අතර, අපි හිතනවාට වඩා වැඩි බලපෑමක් මේ මගින් සිදු වන බව ඉහත දත්ත පිරීක්සීමේදී තේරුම්ගත හැකි වනු ඇත.

මේ තොරතුරු Google Android Dev Summit එක අතරතුරදී පෙන්වාදීම මගින් නුදුරු අනාගතයේදී අපි නිතර භාවිතා කරනු ලබන apps බොහෝ ප්‍රමාණයකට මේ dark mode එක ලබා දීමට මේ developers ලා කටයුතු කරාවි යැයි බළාපොරොත්තු විය හැක.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.