අන්තරජාලයේ සැරිසරන විට බොහෝ වෙලාවට Mobile number එක ඇතුලත් කර game එකක් play කිරීම වැනි දේ සඳහා ආරාධනා කරනු ලබන වෙබ් අඩවි අපිට දැකගන්නට ලැබෙනවා.

ඉතින් මේ වෙබ් අඩවි නිතරම වගේ ඉතාමත් ආකර්ෂණීය ලෙස සකසා තිබෙන නමුත් අපි mobile number එක ඇතුලත් කළ සැනින් අපේ phone එකේ bill එකට, එහෙමත් නැතිනම් එහි තිබෙන credit වලින් යම්කිසි මුදලක් අයකරගැනීමට කටයුතු කරනු ලබනවා.

මීට අමතරව යමකිසි මුදලක් subscription එකක් ආකාරයෙන් දිනපතා හෝ මාසිකව අය කරගැනීමට ඔවුන් කටයුතු කරනු ලබන අතර මේ වන තුරු සේවා සපයන්නන් විසින් ද මේවායෙන් ඉවත් වීම පිළිබඳව තම පාරිභෝගිකයන් නිසි ආකාරයෙන් දැනුවත් කිරීමක් සිදු නොකරන බව පෙනෙන්නට තිබෙනවා.

ඉතින් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නට Google සමාගම විසින් ඔවුන්ගේ Chrome web browser එකට, මෙවැනි වෙබ් අඩවි වලට පැමිණි පසු අනතුරු ඇඟවීමක් සිදු කරන ආකාරයේ පහසුකමක් එකතු කරන්නට සූදානම් වෙනවා.

මේ හරහා ගාස්තු පිළිබඳ නොපෙන්වන හෝ අදාල පරිශීලකයාට පැහැදිලි නොවන ආකාරයෙන්, ගැටළු සහගත ලෙස මිළ ගණන් හෝ මිළ සූත්‍ර ඉදිරිපත් කර ඇති වෙබ් අඩවි වලදී මෙය පෙන්වීමට නියමිත වන අතර, වෙබ්අඩවි නිර්මාණය කරන්නන් විසින් මෙයට අදාල වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව Google සමාගම වෙත දැන්වීමෙන් අනතුරුව එම අනතුරු ඇඟවීම ඉවත් කරන්නට කටයුතු කරනු ලබන බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මීට අමතරව Chrome 71 වැනි සංස්කරණය සමඟින් යම්කිසි වෙබ් අඩවියක් මගින් අනවශ්‍යය ආකාරයෙන් ads පෙන්වීමට උත්සාහ කරනු ලබන්නේ නම්, ඒවා block කිරීමේ පහසුකමකින් ද සමන්විත වෙනවා.

මේ අනුව ලබන දෙසැම්බර් මාසයේ නිකුත්වීමට නියමිත Chrome 71 වැනි සංස්කරණයත් සමඟින් Desktop, mobile සහ Android webview ඇතුළු සියළුම platform වලදී මෙම පහසුකම් ක්‍රියාත්මක ‍වීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.