Google Chrome කියන්නේ, මේ වන විට ලොව ජනප්‍රියම Web browser එක බවට කිරුළු දරා සිටින Web browser එක බව කවුරුත් දන්නවා.

ලොව පුරා බොහෝ දෙනෙකු මේ Browser එක විසින් memory භාවිතා කිරීම ඉතාමත් වැඩි බව දැන දැනත් මෙය භාවිතා කිරීමට හේතුව වෙන්නේ මෙහි තිබෙන Speed එක සහ පරිශීලකයාට ඉතාමත් සමීප වන ලෙස අන්තර්ගත කර තිබෙන පහසුකම් නිසාවෙනුයි.

ඔන්න දැන් Google සමාගම විසින් මේ Chrome Browser එකට අලුත් පහසුකමක් ලබා දෙන්නට කටයුතු සිදු කරමින් පවතින බව දැනගන්නට ලැබෙනවා.

මේ අලුත් පහසුකම Back-Forward Cache යන නමින් හඳුන්වන අතර මේ හරහා පරිශීලකයා විසින් භාවිතා කරන වෙබ් අඩවිය RAM එක තුල store කරගෙන තබාගනිමින්, යම්කිසි අවස්ථාවක Back හෝ Forward යන විධානයන් භාවිතා කළහොත්, අදාල අවස්ථාවේදී නැවත load වීමකින් තොරව ඉතාමත් වේගවත් අයුරින් අදාල වෙබ් පිටු පෙන්වීමට කටයුතු කරනවා.

Google සමාගමේ සංඛ්‍යාලේඛන වලට අනුව Google Chrome භාවිතා කරන්නන්ගෙන් Android වල 19%ක් ද, PC මත 10%ක් ද වශයෙන් back විධානය භාවිතා කරනු ලබන අතර මේ පිරිස හට මෙම පහසුකම හරහා ඉතාමත් වේගවත් අත්දැකීමක් ලබා දීමට මොවුන් බළාපොරොත්තු වෙනවා.

‍එමෙන්ම Mozilla Firefox සහ Apple Safari යන web browser වල මේ පහසුකම ලබා දීමට වෙනත් ක්‍රම භාවිතා කරන නමුත් WebKit Engine එකේ තිබෙන සාමාන්‍යය bfcache function එක Chrome වල භාවිතා වන multi-processing architecture එක සමඟ නොගැලපෙන නිසාවෙන් මෙය මේ වනතුරු Chrome වලට ලබා දී තිබුණේ නැහැ.

කොහොම වුණත් මේ bfcache පහසුකම තවමත් පරිශීලකයන් හට ලබා දීමට කටයුතු කර නොමැති අතර 2019 වර්ෂය තුලදී අත්හදා බැලීම් කටයුතු සිදු කර 2020 වර්ෂයේදී Chrome වෙත එකතු කිරීමට Google සමාගම කටයුතු සිදු කරමින් පවතින බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා developers.google.com හා xda-developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.