Video game ක්‍රීඩා කිරීම බොහෝ විට addictive, එහෙමත් නැතිනම් ඇබ්බැහි වන සුළු දෙයක් බව ඔබ බොහෝ විට අත්දැකීමෙන්ම දැනුවත් ඇති.

ඔන්න දැන්, ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) විසින් මේ video game ක්‍රීඩා කිරීම තුලින් ඇතිවන කැළඹිලි සහගත තත්ත්වය මානසික රෝගයක් ලෙස නම් කිරීමට කටයුතු කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

ලෙඩ රෝග පිළිබඳව වන ජාත්‍යන්තර වර්ගීකරණයේ (International Classification of Diseases) 11 වැනි සංස්කරණය නිර්මාණය කරන අතරතුර මේ අලුත් අසනීප තත්ත්වය ද නිළ වශයෙන් එම වර්ගීකරණයට ඇතුලත් කිරීමට ඔවුන් කටයුතු කර ඇති අතර, මෙම වර්ගීකරණය 2022 වර්ෂයේ ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වෙනවා.

මේ වර්ගීකරණයට අනුව දිනපතා සිදු කරන අනෙකුත් කටයුතු අභිබවා video game play කිරීම සහ මෙලෙස ක්‍රීඩා කිරීමේදී එය අත්හැරදැමීමට තිබෙන හැකියාව දුර්වල මට්ටමක පැවතීම මෙන්ම අදාල පුද්ගලයා උනන්දුව දක්වන අනෙකුත් කටයුතු game play කිරීම නිසා අතපසු කිරීම වැනි දේ මේ රෝගයෙහි රෝග ලක්ෂණ ලෙස සඳහන් වෙනවා.

කොහොම වුණත් Entertainment Software Association එක විසින් මේ තීරණය කෙරෙහි විරෝධය පාමින් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය මගින් නිවේදනයක් නිකුත් කිරීමට ද කටයුතු කර ඇති අතර ලෝක සෞඛ්‍යය සංවිධාන විසින් ගෙන ඇති මෙම පියවර වහාම අවලංගු කළ යුතු බව ඔවුන්ගේ අදහස වෙනවා.

නමුත් මේ වර්ගීකරණයට gaming disorders ඇතුලත් කිරීමට පෙර මේ පිළිබඳව විවිධ රටවල් හා ජන කණ්ඩායම් අතර පරීක්ෂණ සිදු කර ඒ මගින් ලැබුණු තොරතුරු අනුව සාක්ෂ්‍යය සහිතව මෙය සනාථ කිරීමට ලෝක සෞඛ්‍යය සංවිධානය කටයුතු කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මේ වර්ගීකරණය යටතේ video game play කරන සියළුදෙනා මෙම වර්ගීකරණය යටතේ මානසික රෝගීන් ලෙස නොසැළකෙන බවත්, මේ අතරින් ඉතාමත් සුළු පිරිසක් පමණක් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිළ වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.