iPhone භාවිතා කරන්නන් රාශියකගේ Apple ID lock කිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර මේ වන තුරු මෙම සිදුවීමට හේතුව හෙළිදරව් කිරීමට Apple සමාගම කටයුතු කර නැහැ.

මෙම තත්ත්වයට මුහුණ දුන් iPhone පරිශීලකයන්ගෙන් බොහෝ දෙනෙකු ඇමෙරිකානු පුරවැසියන් ලෙස පෙණුනත්, මෙය එක් රටකට පමණක් සීමා නොවී රටවල් ගණනාවක භාවිතා කරන්නන් අතර පැතිරී ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

බොහෝමයක් ඇමෙරිකානු iPhone පරිශීලකයන් reddit වෙබ් අඩවිය හරහා මේ පිළිබඳව වාර්ථා කර තිබූ අතර ඔවුන් තම iPhone ජංගම දුරකථනය භාවිතා කරමින් සිටින විටදී හදිසියේම "Apple ID is locked" යනුවෙන් popup එකක් මතු වූ බවත් දැනගන්නට ලැබෙනවා.

“You Apple ID has been locked for security reasons. To unlock it, you must verify your identity,”

කෙසේ වෙතත් ඔවුන්ගේ password එක සහ security questions වලට නිවැරදිව පිළිතුරු ලබා දුන් පසුව මේ ආකාරයෙන් lock වූ Apple ID එක නැවත unlock කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇතත්, මෙයට ‍මුල් වූ හේතුව දැනගැනීම වෙනුවෙන් මේ වන විට Apple පාරිභෝගිකයින් පෙළගැසී සිටිනවා.

මේ වනතුරු තෙවන පාර්ශවයක් විසින් ද මේ පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්ථා නොවන අතර පෙනෙන ආකාරයට කිසියම් හැකර්වරුන් පිරිසක් Apple ගිණුම් වලට පිවිසීමට දැරූ උත්සාහයක් නිසා මෙම තත්ත්වය උද්ගතවිය හැකි බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

කොහොම වුණත්, ඔබේ ගිණුමත් මේ ආකාරයෙන් lock වීමකට පත් වූවා නම්, වැඩි ආරක්ෂාව වෙනුවෙන් එහි password එක වෙනස් කරගැනීම නුවණට හුරු වන අතර two-factor authentication ක්‍රමයක් ද on කර තිබීම වඩාත් සුදුසු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.