ලොව බොහෝ රටවල් වලින් Facebook platform එක දකින්නේ ප්‍රචණ්ඩත්වය පතුරුවාලීමට භාවිතා කරනු ලබන මාධ්‍යයක් ලෙස වුවත්, මේ වන විට මේ ප්‍රචණ්ඩත්වය මැඬලීම සඳහා අවශ්‍යය පියවර එකිනෙක ගනිමින් සිටින බව Facebook ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

Facebook සමාගම විසින් ශ්‍රී ලංකාව සහ මියන්මාරය යන රටවල් පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමින් ඊයේ දිනයේ ඔවුන්ගේ නිළ Newsroom blog එක හරහා ලිපියක් පළ කරමින් කියා සිටියේ මෙම රටවල් ද්විත්වයේම පැවැති ගැටුම්කාරී තත්ත්වයන් සමාජ මාධ්‍යය වලින් පෝෂණය ලබා ඇති බවයි.

මේ අනුව මෙම තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවී පාලනය කරගැනීම සඳහා Facebook Community Standards වලට පටහැණි post ඉවත් කිරීමටත්, borderline content, එහෙමත් නැතිනම් යම්කිසි විදිහකින් Facebook නීති වලට පටහැණි නොවුනත්, ඊට ආසන්න ආකාරයේ content එකිනෙකා හට පෙන්වන ප්‍රමාණය අවම කිරීමටත් ඔවුන් කටයුතු කරනු ලබන බව වාර්ථා වෙනවා.

විශේෂයෙන්ම වෛරී ප්‍රකාශ පළ කිරීම Facebook නීති වලට පටහැණි බවත්, සැළකිය යුතු ප්‍රමාණයක පරිශීලකයන් ප්‍රමාණයක් විසින් report කරන ලද post එකක් Artificial Intelligence වල, එහෙමත් නැතිනම් කෘතීම බුද්ධියේ සහාය ද ඇතිව, ඉතාමත් ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම පසුගිය මාස කිහිපය ඇතුලත අරාබි, බුරුම, Tagalog, වියට්නාම්, බෙංගාලි සහ සිංහළ යන භාශාවන් වලින් පළ වන content හඳුනාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති බවත්, ඒ හරහා මෙවැනි වෛරී ප්‍රකාශ පෙරට වඩා වැඩි ප්‍රමාණයක් කාර්යයක්ෂමව ඉවත් කිරීමට ඔවුන් හට හැකියාව ලැබෙන බව වැඩිදුරටත් Facebook සමාගම දන්වා සිටිනවා.

පරිශීලකයන් විසින් report කිරීමට ප්‍රථමව, Facebook algorithm හරහා මෙවැනි වෛරී ප්‍රකාශ හඳුනාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමෙන් අනතුරුව 2018 වර්ෂයේ අවසන් භාගයේ සිට 2019 මුල් කාර්තුව වන විට 15%ක පමණ වැඩි වීමක් දැකගත හැකි බව වාර්ථා වෙනවා.

මීට අමතරව පසුගිය ජනවාරි මාසයේදී WhatsApp වල message forward කළ හැකි වාර ගණන සීමා කළ ආකාරයට ශ්‍රී ලාංකිකයන් සඳහා Facebook Messenger වලට ද සීමාවක් ගෙන ඒමට ඔවුන් කටයුතු කරනු ලබන බව ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ පසුගියදා සිදු වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය හමුවේ මිලියනයකින් හතරෙන් එකකට වඩා වැඩි පිරිසක් Facebook Safety Check පහසුකම භාවිතා කරමින් තමන් ආරක්ෂිතව සිටින බව තමන්ගේ හිතමිතුරන් හට දැනගන්නට සැලැස්වීම, Facebook Crisis Response tool එක භාවිතා කරමින් විවිධ දේ සඳහා මුදල් හා ආධාර ලබා දෙමින් එකිනෙකාට උදව් කිරීමට කටයුතු කිරීම වැනි ප්‍රයෝජනවත් කටයුතු සිදු කිරීම සඳහා තම පරිශීලකයන් යොමු කිරීමට Facebook ආයතනය මහන්සි ගන්නා බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.