පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මිලෙන් අඩු Raspberry Pi 3A board එක හඳුන්වාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, Raspberry Pi Foundation එක විසින් ඔවුන්ගේ Raspberry Pi board මාලාවේ අලුත්ම සංස්කරණය වන Raspberry Pi 4 Model B එක නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර මේ අලුත් මාදිලිය මීට පෙර නිකුත් කළ මාදිලි වලට වඩා සුවිශේෂීත්වයකින් යුතු වෙනවා.

විශේෂයෙන්ම මීට පෙර සෑම Raspberry Pi මාලිදියක්ම 512MB හෝ 1GB වලට පමණක් RAM එක සීමා වී තිබූ අතර මේ අලුත් මාදිලිය LPDDR2 වලින් LPDDR4 වෙත මාරු වී 1GB, 2GB හෝ 4GB වශයෙන් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

Cortex-A72 (ARM 8) architecture එකට අනුව නිෂ්පාදනය කළ 1.5GHz 64-bit processor එකකින් සමන්විත වන මේ Raspberry Pi 4 board එක සාමාන්‍යය HDMI port එක වෙනුවට micro-HDMI port දෙකක් හරහා 4K (60fps) display ද්විත්වයක් භාවිතා කිරීමේ හැකියාව අන්තර්ගත කර තිබෙනවා.

මීට පෙර නිකුත් වූ Raspberry Pi මාදිලි වල Ethernet port එක, එහෙමත් නැතිනම් Network port එක ක්‍රියාත්මක වූයේ Ethernet over USB 2.0, එහෙමත් නැතිනම් එහි අන්තර්ගත වූ USB 2.0 controller එක හරහා වූ නමුත්, මෙවර එය සැබෑ ලෙසම Gigabit Ethernet port එකක් ලෙස නිර්මාණය කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව power එක ලබා ගැනීම සඳහා පෙර තිබූ micros-USB port එක වෙනුවට USB  type-C port එකක් අන්තර්ගත කර ඇති අතර USB 3.0 ports දෙකක් ද, USB 2.0 ports දෙකක් ද වශයෙන් USB port 4කින් ද, Bluetooth 5.0 තාක්ෂණයෙන් ද මෙය සමන්විත වෙනවා.

මෙහි 1GB RAM එකක් සහිත මාදිලිය ඇමෙරිකානු ඩොලර් 35ක් ද, 2GB මාදිලිය ඩොලර් 45ක් ද, 4GB මාදිලිය ඩොලර් 55ක් ද ලෙස මිළ නියම කර ඇති අතර අද දින සිට එය ඇනවුම් කිරීමේ හැකියාව ලබාදීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Raspberry Pi වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.