Facebook ආයතනය විසින් ඔවුන්ගේ platform හරහා යවනු ලබන private audio messages වලට සවන් දීම සහ ඒවා සාරාංශගත කිරීම සඳහා වෙනත් ආයතන hire කිරීමට කටයුතු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

මීට ප්‍රධානතම හේතුව වන්නේ Facebook හරහා සිදුවන නරක දේවල් වැලැක්වීමට අවශ්‍යය පියවර ගැනීම බව පෙන්වා දෙන Facebook ආයතනය මෙම තත්ත්වය නීති විරෝධී නොවන බවද පෙන්වා දෙනවා.

මෙම audio clips ඔවුන්ගේ සේවාවන් භාවිතා කර යවා තිබෙන බැවින් අවශ්‍යය වේලාවක ඒවා යම් ආකාරයකින් භාවිතා කිරීමට Facebook සමාගමේ නීතිරීති වලට අනුව අවසර තිබෙන බවත්, මෙම audio clips වෙනත් ආයතන වෙත ලබා දීමේදී ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු පිට නොකරන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කොහොම වුණත් මේ පිළිබඳව පැහැදිලි වගන්තියක් ඔවුන්ගේ Privacy Policy එකේ ඇතුලත් නොවන බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දී තිබෙන අතර පරිශීලකයන්ගේ පෞද්ගලික පණිවිඩ පරීක්ෂා කිරීම සඳහා වෙනත් සමාගම් වලට ලබාදීම සාරධර්ම වලට පටහැනි බව ද ඔවුන් ප්‍රකාශ කරනවා.

පසුගිය සතිය පමණ වන තුරු Apple සහ Google සමාගම විසින් ද මෙම කටයුත්ත මේ ආකාරයෙන්ම සිදු කරමින් පැවති බවත් Facebook සමාගම පෙන්වා දී තිබෙන අතර මෙහි ප්‍රධානතම යටි අරමුණ වන්නේ ඔවුන්ගේ කෘතීම බුද්ධිය train කිරීමට අවශ්‍යය වන දත්ත ලබා ගැනීමයි.

මෙලෙස ඔවුන්ගේ AI මෘදුකාංග පුහුණු කිරීමෙන් අනතුරුව ඒවා භාවිතා කරමින් මෙම audio messages නිරීක්ෂණය කිරීමේ හැකියාව ලබාගත හැකි අතර අනාගතයේදී වෙනත් ආයතන වලට මෙලෙස පෞද්ගලික දත්ත යැවීම අවම කරගැනීමට මේ හරහා හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, Aljazeera වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.