Apple සමාගම විසින් Touch ID පහසුකම අත්හැර දමා වඩාත් වැඩි දියුණු කරන ලද හා වඩා ආරක්ෂිත Face ID තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කල බව ඔබ දැනටමත් දන්නවා ඇති.

නමුත් මෙම තාක්ෂණයේ පැවති දුර්වලතාවය වූයේ නිවුන් පුද්ගලයින් හට යම් යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වීම හා මතුපිටින් එක හා සමාන මුහුණක් සහිත පුද්ගලයින් කිහිප දෙනෙකු වුවද සිටිය හැකි බැවින් මෙහි යම් අනාරක්ෂිත බවක් ඇති වී තිබීමයි.

එමෙන්ම ඕනෑම හොඳ පද්ධතියක වුවද දුර්වලතාවයක් තිබිය හැකි බැවින් ඇතැමුන්ට පද්ධතිය රවටා ව්‍යාජ මුහුණු නිර්මාණය කරන්නට හැකිවීමේ අවධානමක් ද තිබෙන නිසා Face ID තාක්ෂණය ඔස්සේ ද සෑම විටම ආරක්ෂාව 100% ක්ම සහතික කල හැකි වන්නේ නැහැ.

කොහොම නමුත් මේ වන විට Apple සමාගම විසින් මෙම ගැටළු වලටද විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වන අතර, සිය Face ID තාක්ෂණය ඔස්සේ මුහුණේ සමට යටින් පිහිටා ඇති නහර පද්ධතියද scan කොට ගබඩා කරගත හැකි නව තාක්ෂණයක් සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.

Apple සමාගම විසින් ඉල්ලුම් කරන ලද patent බලපත්‍රයක් ඔස්සේ මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර ඊට අනුව කැමරාවක අධෝරක්ත සංවේදකය හරහා sub-epidermal imagery technique තාක්ෂණය භාවිතා කරමින් සමට යටින් ඇති නහර පද්ධතියේ 3D Map එකක් නිර්මාණය කිරීම සිදු කෙරෙනවා.

ඊට අමතරව මෙම තාක්ෂණය ඔස්සේ මුහුණේ ඇති වෙනත් ආවේණික ලක්ෂණ ද Scan කරනු ඇති අතර ඒ ඔස්සේ වඩා වඩාත් ආරක්ෂිත Face ID පද්ධතියක් නිර්මාණය කරනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

කොහොම නමුත් මෙය සාමාන්‍ය පරිශීලක භාවිතයේදී දැනට ඇති Face ID තාක්ෂණයට සමාන ආකාරයෙන්ම ක්‍රියා කරනු ඇති වුවත් තාක්ෂණික දෘෂ්ඨිකොණයෙන් ගත් විට, එය වර්ථමාන තාක්ෂණයට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනු ඇති.

ඒ අනුව මුහුණ පමණක් නොව එහි අභ්‍යන්තර නහර පද්ධතියද යොදාගනිමින් වඩාත්ම ආරක්ෂිත Face ID තාක්ෂණයකින් අනාගතය Apple උපාංග සන්නද්ධ විය හැකි බවට අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, Apple Insider වෙබ් අඩවිය සහ Notebookcheck වෙබ් අඩවිය භාවිතා කළ හැක.