AI එහෙමත් නැතිනම් Artificial Intelligence කියන්නේ මේ වෙනකොට අපි භාවිතා කරන හැම සේවාවකටම වගේ ඉතාමත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කරන දෙයක් බවට පත් වෙලා තියනවා.

නමුත් සංගීතය කියන මාතෘකාව කෘතීම බුද්ධියක් හරහා හසුරුවන්නට මේ දක්වා එතරම් සාර්ථක ක්‍රමයක් නිර්මාණය වෙලා තිබුණේ නැති වුණත්, ඔන්න දැන් Deezer කියන music streaming සේවාව සමත් වෙලා තියනවා ගීතයක ඇතුලත් වන mood එක, එහෙමත් නැතිනම් මනෝභාවය හඳුනාගන්න පුළුවන් විදිහේ AI System එකක් නිර්මාණය කරන්න.

මේ වෙනුවෙන් අදාල ගීතයේ audio පටය මෙන්ම lyrics, එහෙමත් නැතිනම් පද මාලාවත් එක සේ භාවිතා කරගන්නට මේ කෘතීම බුද්ධියට හැකියාව තිබෙන අතර මූලික වශයෙන් ගීත මිලියනයක් පමණ ඇතුලත් වන Million Song Dataset (MSD) කියන එකතුව භාවිතා කරමින් මෙලෙස නිර්මාණය කරගන්නා ලද models එහෙමත් නැතිනම් samples විශාල ප්‍රමාණයක් හරහා මෙම පද්ධතිය train කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව Last.fm කියන සේවාවේ dataset එකක් භාවිතා කර තවත් ලක්ෂ 5 ක පමණ ගීත එකතු කර ඇති අතර ඉංග්‍රීසි වචන 14,000 ක පමණ ප්‍රමාණයක් භාවිතා කරමින් අදාල වචන වල positive හා negative ගතිය මෙන්ම එහි ශාන්ත ගතිය හා උද්‍යෝගී බව ඉස්මතු වන ආකාරයට දත්ත ලබා දී තිබෙනවා.

ඉහත සඳහන් කරන ලද Million Song Database එකෙහි ඇතුලත් වන්නේ ගීතය පිළිබඳව කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණක් නිසාවෙන්, අදාල ගීත වල නම Deezer සේවාවේ ඇති ගීත හා සසඳා වැඩිදුර විස්තර එකතු කිරීමට ද මොවුන් කටයුතු කර තිබෙනවා.

ගීතයක මනෝභාවය හඳුනාගැනීම සඳහා භාවිතා කරනු ලැබූ පැරණි ක්‍රම වලට සාපේක්ෂව මේ පද්ධතිය හරහා ඉතාමත් හොඳ තත්ත්වයේ ප්‍රතිඵල ලබා ගැනීමට මොවුන් සමත් වී ඇති අතර මේ ප්‍රතිඵලය ලබාගැනීමේදී ගීතයේ හඬ පටය මෙන්ම පද මාලාවද භාවිතා කිරීම මෙහි සාර්ථකත්වයට හේතුව ලෙස මෙම පරීක්ෂකයින් පෙන්වා දෙනවා.

මේ හරහා අනාගතයේදී streaming service එකක් හරහා ගීත ඇසීමේදී අසන්නා එම වේලාවේ සිටින මනෝභාවයට අදාල ගීත පමණක් තෝරා වාදනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට venturebeat හා theverge වෙබ් අඩවි භාවිතා කළ හැක.